Thursday, August 15, 2013

කෝච්චියේ ජීවිතේ.


දෙහි, දෙහී. පැකට් එකක් රුපියල් විස්සයි දෙහි, දෙහී.



රට කජු, රට කජූ, බැදපු රට කජූ. කොළඹ යන ගමන් කකා යන්න රට කජූ. 

ඇයගේ වයස අවුරුදු දොළහක් දහතුනක් පමණ වන්නට ඇත. ලා කොළ පැහැති හැට්ටයකිනුත් පාට වියැකී ගිය රෝස පැහැයට හුරු පුල්ලි වැටුනු සායකින් සැරසී සිටියාය. ඇයගේ එක් අතක දෙහි ගෙඩි පිරවූ ෂොපින් කවර කිහිපයකි අතින් අතේ රටකජු පිරවූ එවැනි ම වූ ෂොපින් කවර කිහිපයකි. ඇයගේ කොණ්ඩය අවුල් වී තිබින කෝච්චිය තුලට හමා එන හුලං පහර නිසාත් කෝච්චියේ එහාට මෙහාට යනවිට ගැස්සීම නිසාත් වන්නට ඇත. ඇය අප වාඩි වී සිටින ආසනය ළඟ නැවතින. ඇය මාගේ මුහුනත් මාගේ මවගේ මුහුනත් දිහා මාරුවෙන් මාරුවට බැළුවාය. ඒ බැල්ම තුල යම්කිසි ආකාරයක මලානික ගතියක් ගැබ් වී තිබින එය මලානික බවක් කියනවාටත් වඩා හිස් බවක් යයි කිව්වොත් නිවැරදි ය. ඇයගේ දුප්පත් කමත් ජීවත් වීම සඳහා ගන්නා මහන්සියත් ඇයට විඳීමට සිදුවූ දුක් කම්කටොළුත් ඒ බැල්ම තුල ගැබ්වී තිබුනා වන්නට ඇත. 

කෝ ගන්න බලන්න මෙහාට

ඒ මගේ මවයි 

මොනවද නෝන ඕන කියමින් ඇය ඈ සතු දෙහි බෑග් කිහිපයත් රට කජු බෑග් කිහිපයත් අප දෙසට පෑවාය. 

මගේ මව දෙහි බෑග් කිහිපය පරීක්ෂා කරල බලා එතැනින් එක් බෑගයක් තෝරා ගත්තාය 

රට කජු කීයද? 

පොඩි බෑග් එකක් රුපියල් විස්සයි නෝන ලොකු බෑග් එකක් හතළිහකයි. 

කෝ ගන්න බලන්න ලොකු බෑග් එකක් 

මගේ මව එතැනින් බෑගයක් ද තෝරා ගත්තා ය. 

මෙම වයසේ දැරියක් තම නිවාඩු කාලය යහළුවන් සමඟ කෙලි දෙලෙන් ගතකල යුතුයි නේද? එය ඇය සතු අයිතියක් නොවේද? මෙලෙස දරුවන් රැකියාවල යොදවන දෙමාපියන් හෝ භාර කරුවන්ට විරුද්ධව පියවර ගතයුතු නොවේද? ඒ මගේ සිත මා වෙත පැවසූ කතාවයි. 

නමුත් ඇය දෙස බැලූ විට ඇයගේ ඇඳුම, ශරීරය සහ විලාසය පැවසූයේ වෙනත් කතාවකි. ඇය තම යහළුවන් සමඟ කෙලි දෙලෙන් පසු වීමට කළින් ඇයගේ මූලික අවශ්‍යතා වන ආහාර, නවාතැන්, ආරක්ෂාව වැනි මූලික අවශ්‍යතාවලට ප්‍රමුඛත් වය දිය යුතු වේ. ඇය එදින එම දෙහි සහ රට කජු විකිණීමට නොහැකි වුනොත් බඩගින්නේ සිටීමට සිදු වනවා වන්නට පුළුවන. නැතහොත් ඇයිට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ලබාගැනීමට නොහැකි වනවා වන්නට පුළුවන. 

මගේ මව ඇය අත රුපියල් හැටක මුදලක් තැබුවාය. 

එය රැගෙන නැවතත් දෙහි දෙහී රට කජු රට කජූ කියමින් යන ඒ දැරිය දෙස මා බලා සිටියේ මෙයට ඇත්තටම වගකිවයුතු වන්නේ කවුද යන්නයි. 

ඇය ද? ඇයගේ දෙමාපියන් ද? ඔබ ද? මම ද? එසේ නොමැති නම් අප ජීවත් වන සමාජය ද?