Saturday, April 6, 2013

මම මොකෙක්ද ?



මම හැදුනෙ වැඩුනෙ මිනීමැරීම දෛනික දෙයක් වෙච්ච රටක. අපි පොඩි දවස්වල, පාරෙ යන වාහනවත්, අහසෙ යන කොක්කුවත් ගණන් කලේ නැහැ. අපි ගණන්කලේ එක්කො එදිනෙදා මැරිච්ච ත්‍රස්තවාදී එහෙම නැත්නම් හමුදා සෙබළුන්ගෙ ගණන. අවුරුද්දකට කීප සැරයක් සිවිල්වැසියන් ඉලක්කකරගෙන බෝම්බ පිපිරුන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේ දවසට අර ගණන් වලට අමතරව බෝම්බ වලින් මැරිච්ච මිනිස්සු ගානත් ගණන් කරන්න අවස්ථාව ලැබෙනව. මේ වගේ බෝම්බ පුපුරපු දවස්වලට අපිට බොහොම සතුටුයි මොකද බෝම්බයක් පිපිරුව කියන්නෙ අනිවාර්යයෙන්ම අපේ පාසල සති දෙකක් විතර වහනව. අපේ අම්මලත් අපිව පාසල් යවන්නෙ නැහැ. ඉතින් අපි බලාගෙන ඉන්නව බෝම්බයක් පුපුරනකම් ගෙදර ඉන්න.අවි ආයුධ කියන්නෙ අපිට අමුතු දෙයක් නොවෙයි පාරෙ හැම කිලෝමීටරේම ස්වයංක්‍රීය ආයුධ දරාගත්ත ආරක්ෂක අංශවල නිලධාරීන් ඉහිටිය. අපේ අම්ම වැඩකරපු තැන ඉස්සරහත් මෙහෙම ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් හිටිය. අපි පොඩි උන්, අපි ආසයි ඔය වගේ තුවක්කුවක් අතගාල බලන්න, ඔවුන් ත්‍රස්තවාදීන් එක්ක කරපු සටන් ගැන අහන්න. ඔවුන් ත්‍රස්තවාදීන්ව මරපු හැටි, ඔවුන්ගෙ සහෝදර නිලධාරීන් මැරුන හැටි, සමහර නිලධාරීන් තමුන්ගෙ සගයව බේරගන්න ඔවුන්ගෙ ජීවිත පරිත්‍යාග කරපුහැටි හැටි ඕව තමයි අපි ඔවුන්ගෙන් අහන්නෙ. ඔවුන් අපිට වීරයො. අපි තුල ත්‍රස්තවාදීන් ගැන විතරක් නොවෙයි ඔවුන් අයත්වෙච්ච ජාතිය ගැනත් දැඩි වෛරයක් තමයි ඇතිවෙලා තිබ්බෙ.

මීට අමතරව රජය මඟින්ම පෝෂනය කරන ලද මැරයො, මිනීමරුවො ඔවුන්ට විරුද්ධ වෙච්ච ඕනැම කෙනෙක් ඝාතනය කරන්න පසුබට වුනේ නැහැ. ඒ පිළිඹඳ පොලීසිය නීතිමය කටයුතු කලේ නැහැ. කප්පම් ගැනීම්, පැහැරගෙනයාම්, තර්ජනය කිරීම් කියන්නෙ සාමාන්‍ය දේ. ඒවට විරුද්ධව කතා කරපු අය පාරවල් අයිනෙ වෙඩි තියල මරල දාල තිබුන. ඡන්දයකින් පස්සෙ අනිවාර්යයෙන්ම ඇඳිරිනීතිය පනවන්න අවශ්‍ය වාතාවරනයක් තිබ්බෙ. විරුද්ධ මත දරණ දේශපාලන නායකයො, මාධ්‍යෙව්දීන්, මිනිසුන්ගෙ නිදහස වෙනුවෙන් කතාකරපු අයට වැඩිය ආයුශ නැහැ කියන එක යතාර්ථයක් බවට පත්වෙලා තිබුන.

මිනිහෙක්ගෙ අයිතිවාසිකම් නැතිවෙනව කියන එක මට ප්‍රශ්නයක් වුනෙත් නැහැ. මිනිහෙක් ගුටිකනව කියන එක මට ප්‍රශ්නයක් වුනෙත් නැහැ.මිනිහෙක් මැරෙනව කියන එකත් මට එච්චර ප්‍රශ්නයක් වුනෙත් නැහැ.

ඉතින් මම අවුල් සහගත පුද්ගලයෙක්ද නොවෙන්න පුළුවන්ද?

සමහර වෙලාවට මම කල්පනා කරනව වෙන සාමකාමීරටක හිටියනම් මම මොනවගේ පුද්ගලයෙක් බවට පත්වෙන්න තිබුනද කියල. මම හිතන්නෙ මම දැනට වඩා මනුශ්‍යත්වය තියෙන පුද්ගලයෙක් බවට පත්වෙන්න පුළුවන්කමක් තිබුන කියල.නමුත් දැන් ඒ දේ සිද්ධවෙලා ඉවරයි.ඒ මොනව වුනත් මට වගකීමක් තියෙනව මට වුවමනාවක් තියෙනව මගේ රටේ අනාගත පරම්පරාවට ආපහු ඒවගේ රටක ජීවත්වීමට පත් නොකරන්න. 

මම ජාතිවාදයට විරුද්ධ ඒ නිසා. මම නීතියේ ස්වාධීන තාව ආරක්ෂාකරන්න ඕන කියන්නෙ ඒ නිසා. මම ජාතීන් අතර සහෝදරත්වය වර්ධනය කරන්න ඕන කියන්නෙ ඒ නිසා.



No comments:

Post a Comment