Tuesday, February 9, 2016

ප්‍රධාන මාධ්‍යට අමතක වූ දකුණු ආසියානු කීඩා උළෙල

එදා සුසන්තිකාලා, දමයන්ති දර්ෂලා, සුගත් තිලකරත්නලා දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල ජයකෙහෙළි නංවද් දී ශ්‍රී-ලාංකිකයන් වශයෙන් අප සියළු දෙනා ශ්‍රී-ලාංකිකයින් වශයෙන් ආඩම්බරයට පත්වූයෙමු.
ශ්‍රී-ලංකාවේ සියළුම මාධය ආයතන එ් ජයග්‍රහනය පිළිඹඳ වාර්තා කිරීමට කටයුතු කළේ විශාල උනන්දුවක් දක්වමිනි. රාජ්‍ය නාලිකා මෙම තරඟ සජීවීව ජනතාව වෙත ගෙ නඒමට දායක වූ අතර සියළුම පුවත්පත් සිය මුල් පිටුව තුලින් මේ සම්බන්ධයෙන් වාර්ථා කිරීමට කටයුතු කොට තිබුණි.

මේ වනවිට ඉන්දියාවේ ගුවාති සහ ෂිලොන්ග් හි පැවැත්වෙන 12වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුලත් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජය කෙහෙළි නංවමින් සිටිති.

මේ වනවිට රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 27 ක් සහ ලෝකඩ පදක්කම් 23ක් සමඟ සමස්ථ පදක්කම් 61 ක් ලබාගෙන දෙවන ස්ථානයට පත්වන්නට සමස්ථ පදක්කම් සටහනේ ශ්‍රී-ලංකාව සමත්ව ඇති අතර සාමාන්‍යයෙන් ශ්‍රී-ලංකාව දක්ෂතා දක්වන පිටියේ මළල ක්‍රීඩා ඉසව් වලින් පිටතට විත්, පිහිනුම්, පාපැදි, බර ඉසිලීම ආදී ක්‍රීඩා වලින් දස්කම් දක්වාති තිබීම මෙවර සාර්ක් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ඇති විශේෂත්වයයි.
නමුත් මෙවර ප්‍රධාන මාධ්‍ය ආයතන සාර්ක් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් දක්වන අවධානය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි නොවේ. මාධ්‍ය ආයතනයක වගකීම තමාගේ ප්‍රේක්ෂකයන්ට වැදගත්වන, යම් වටිනා කමකින් යුතු කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ව දැනුවත් කිරීමයි. නමුත් කිසිඳු රජයේ හෝ පෞද්ගලික මාධ්‍ය ආයතනයක් සාර්ක් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී-ලංකාව දක්වා ඇති දක්ෂතා සම්බන්ධයෙන් වාර්ථා කිරීමේ වගකීම තමාවෙත ගෙන ඒ වගකීම ඉටුකරන බවක් පෙනෙන්නට නැත.

යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම, විපක්ෂයේ මන්ත්‍රීවරුන් සීනිගම දේවාලයේ පොල් ගැසීම, ඔවුන් හොරෙන් පොල් කැඩුවාද යන්න, එම අවස්ථාවේ දේශපාලකයෙකුගේ මුදල් පසුම්බිය සොරකම් කිරීම, නිදහස් උත්සවයේ ජාතික ගීය දමිල බසින් ගායනා කිරීම, නිදහස් උත්සවයේ ක්‍රිෂානි විජේසිංහ විසින් සිදුකළ ඔපෙරා ශෛලියේ ගායනය, ආදී කිසිඳු වැදගත් කමක් නොමැති, හුදු කුණු රසය පමණක් දැකිය හැකි සංසිද්ධීන් ගණණාවක් සම්බන්ධයෙන් කතිකාවතක් ඇති කිරීමට මෙම මාධ්‍ය ආයතන සියල්ල කටයුතු කරන ආකාරය දක්නට ලැබේ.

සීනිගම දේවාලයට ගොස් පොල් ගසන දේශපාලඥයන් ගැන මහත් උද්යෝගයෙන් වාර්ථා කරන මාධ්‍ය ආයතන ශ්‍රී-ලාංකික ක්‍රීඩකයින් සමඟ ඉන්දියාවට ගොස් ඔවුන් සමඟම නැවතී හිඳිමින් ඔවුන්ව ධෛර්යමත් කිරීමට කටයුතු කරන ක්‍රීඩා අමාත්‍යවරයා සම්බන්ධයෙන් වාර්තා කිරීමට උනන්දුවක් දක්වන්නේ නැත.

සමහර විට සීනිගම දේවාලයට ගොස් පොල් ගැසීම සාර්ක් උළෙල තුල ශ්‍රී-ලංකාව ජයකෙහෙළි නංවනවාට වඩා වැදගත් කරුණක් බවට මෙම මාධය ආයතන වල ප්‍රධානීන්ට පෙනී යනවා වන්නට පුළුවන. එමෙන්ම නිදහස් උත්සවයේ දී ක්‍රිෂානි ජයසිංහගේ ඔපෙරා ගායනය දයාසිරි සාර්ක් ක්‍රීඩා උළෙලට සහභාගීවන ක්‍රීඩකයින් හා සමඟ එකතුව ඔවුන්ව ධෛර්යමත් කරනවාට වඩා වැදගත් යයි සලකනවා වන්නට පුළුවන.
ශ්‍රී-ලංකාව තුල පවතින මාධ්‍ය ආයතන වලට පොදුවේ (රජයේ සහ රජයේ නොවන) ජාතික වැදගත්කමකින් යුත් ප්‍රවෘත්ති මොනවාද, වාර්ථාමය වටිනාකමක් සහිත ප්‍රවෘත්ති මොනවාද, මාධ්‍ය ආයතනයක් වශයෙන් ඔවුන්ගේ රාජකාරි සහ වගකීම් මොනවාද යන්න පිළිබඳව අවබෝධයක් ලබාදියයුතු තත්වයක් උද්ගතව ඇත.

Friday, February 5, 2016

“අතීසාරයට අමුඩය ගැසීමෙන් සිදුවන්නේ අමුඩ ලේන්සුව ජරාවීම පමණකි.”


ජාතික ගීයේ දමිළ අනුවාදනය මේවනවිට බුකියේ ප්‍රධානතම මාතෘකාව බවට පත් වී හමාරයි.
ශ්‍රී-ලංකාව මත ඉපිද ශ්‍රී-ලාංකික පොළවෙන්, සුළඟෙන්, ජලයෙන් පෝෂනය වූ අපි එකිනෙකා හා සන්නිවේදනය සඳහා භාවිතා කරන මිනිසා නිර්මාණය කරගත් භාෂාවක් පමණක් පදනම් කර ගනිමින් දශක 3ක් පුරාවට එකිනෙකා මරා ගත්තෙමු. 

ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් ඇතිව ඇති ගැටළුව දෙස බැලීමේ දී තේරුම් ගතහැකි ප්‍රධාන කරුණ නම් දශක 3ක් පුරාවට පැවැති සිවිල් යුද්ධය අවසන්කොට වසර 6ක් අවසන්ව ඇති නමුත් තවමත් ශ්‍රී-ලාංකික ජනතාව තුල එකිනෙකා කෙරෙහි අනයෝන්‍ය විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට අපොහොසත්ව ඇති බවයි.

දමිළ භාෂාව කතාකරන ජනතාවටත් ජාතික ගීය ගායනා කරන විට තමාගේය යන හැඟීම ඇතිවිය යුතු බව සත්‍යකි. ජාතික ගීයේ දමිළ අනුවාදනය භාවිතා කිරීම තුලින් දමිළ භාෂාව කතාකරන ජනතාව තාවකාලිකව ආමන්දානයට පත්කළ හැකි නමුත් එය මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් නොවේ. 

පලමු කොටම ජාතික ගීය දමිළ බසින් ගායනා කළ යුතු බවට දමිළ ජනතාව තුල මතයක් ගොඩ නැඟෙන්නේත් එසේ ගායනා කරනවාට සිංහල ජනතාව විරුද්ධ වන්නේත් එකම කාරණාවක් පදදනම්කොට ගනිමිණි. එනම් අප දෙකොට්ඨාශය අතර අනයෝන්‍ය විශාවාසයක් නොපැවතීමයි. අප පවතී නම් දමිළ ජනතාවට සිංහල බසින් ජාතික ගීය ගායනා කිරීමටත්, සිංහල ජනතාවට ජාතික ගීයේ දමිළ අනුවාදනයට විරුද්ධ වීමටත් කිසිඳු අවශ්‍යතාවයක් ඇති නොවේ.

සිංහල ජනතාවත් දමිළ ජනතාවත් අතර විශ්වාසය ගොඩ නැංවීම සඳහා ඔවුන් අතර ඇති ගැටළු, විරසක, සබඳතා ආදී සියළුම කරුණු පිළිබඳව සංවාද මණ්ඩපයක් ඇතිකළ යුතුව ඇත. ඒ තුලින් එකිනෙකාගේ සංස්කෘතීන් පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීමටත්, ඒවා අතර ඇති විවිධත්වය, වෙනස්කම් වටහා ගැනීමටත්, ඒවාට ගරුකිරීමටත් උගත යුතුව ඇත. 

අප අතර විශ්වාසය ගොඩ නැඟීමකින් තොරව ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම වැනි සිල්ලර ක්‍රියාකාරකම් තුලින් මෙම ගැටළුවට විසඳුම් ලබාදිය නොහැකි බව පාලකයනුත්, ජනතාවත්, සමාජ ක්‍රියාකාරීනුත් අවබෝධකරගත යුතුය.

මේ ජාතික ගීයේ දමිල අනුවාදනය ගායනා කිරීම වැරදියි කියනවා නොවේ. නමුත් නැවත වතාවක් අප රට ජාතිවාදී ගිනිදැල්වලින් වෙළීයාම නැවැත්වීමට නම් ජාතීන් අතර අනයෝන්‍ය විශ්වාසය වර්ධණය කිරීම සඳහා වැඩ පිළිවෙළක් හැකි ඉක්මනින් ආරම්භ කළයුතුව ඇත.

“අතීසාරයට අමුඩය ගැසීමෙන් සිදුවන්නේ අමුඩ ලේන්සුව ජරාවීම පමණකි.”