Monday, November 7, 2016

රාජ්‍ය පාලන ඕමි පිටියේ තුරුම්පු තවදුරටත් රණවිරුවා නොවේ. අද අප දුටුවේ ඒ යථාර්ථයයි.




යුද්ධය යනු කිසිඳු අවස්ථාවක සාමාන්‍ය ජනතාව සතු ප්‍රශ්න විසඳීම සඳහා යොදාගන්නා ක්‍රියාමාර්ගයක් නොවේ. යුද්ධය සෑම විටකම පාලක පන්තිය සිය තමුන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා භාවිතා කරන ලද මෙවලමකි. ඊලාම් මෙහෙයුම, වෙනම රාජ්‍යක් ලබාගැනීමේ සටන, නිජභූමිය ආරක්ෂා කිරීමේ අරගලය, රට බේරාගැනීම, මානුශීය මෙහෙයුම, ජාතිය බේරාගැනීමේ මෙහෙයුම යනුවෙන් මොන ටොපි කොළයේ එතුවත් ඒ තුළින් සැමදා බැටකන්නේත් දුක් විඳින්නේත් සාමාන්‍ය ජනතාව මිස අන් කිසිවෙකුත් නොවේ. මින් කුමන පාර්ශවයක් ජයග්‍රහණය කලද ඒ ජයග්‍රහනය තුළින් යුද්ධය නිසා ඇතිවූ ගැටළු වලට විසඳුමක් ලැබෙනවා මිස කිසිඳු අවස්ථාවක යුද්ධයට පෙර පැවැති ඒ සඳහා හේතු වූ ගැටළු වලට විසඳුමක් ලබාදීමක් සිදු නොවේ. ශ්‍රී-ලංකාව තුළ වර්ථමානය තුළ පවතින තත්වයේ ද ඊට වඩා කිසිඳු වෙනසක් නැත.

මේ ඒ ගැන කතාකරන්නට අවස්ථාව නොවේ. යුද්ධය සඳහා සටන් බිමට පිවිසෙන්නේ සාමාන්‍ය ජනතාවගේ දරුවන් වන අතර උතුරේ වුවත් දකුණේ වුවත් ඒ සම්බන්ධයෙන් වෙනසක් ඇති බවක් නොපෙනේ. උතුරේ මෙම ගැටළුවට පන පෙවූ වෙල්වනායගම්ලාගේ, ප්‍රභාකරන්ලාගේ පුතුන් අවසානය දක්වාම යුද්ධ පෙරමුණට පැමිණියේ නැත. දකුනේද මෙම ගැටළුව ආරම්භ කළ බණ්ඩාරනායකලාගේ ගේ හෝ රාජපක්ෂලාගේ හෝ වෙනයම් නායකයෙකුගේ දරුවන් සටන් බිමට පැමිණියේ නැත. සටන් කරනවා වෙනුවට උන් කළේ තමුන්ට ලැබුන වරප්‍රසාද හරහා සාමාන්‍ය ජනතාව තවදුරටත් පාගා ගෙන සිටීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීම පමණකි. ඒ වෙනුවට උතුරේත් දකුනේත් ගලා ගියේ සාමාන්‍ය අම්මලාගේ තාත්තලාගේ දරුවන්ගේ රුධිරයයි.

උතුරේ වේවා දකුනේ වේවා සාමාන්‍ය මිනිසාගේ දරුවා යුද්ධය වෙනුවෙන් පාවිච්චි වුනේය. අත් පා නැතිකර ගත්තෝය සමහරෙකු ජීවිතයෙන් වන්දි ගෙව්වෝය. පාලකයෝද මේ සාමාන්‍ය ජනතාවගේ පුතුන් රට ජාතිය වෙනුවෙන් දිවි පිදුවන් ලෙස වර්ණනා කරමින්, විරු දින පවත්වමින් තමාගේ යුද්ධය ගෙනයාමට අවැසි සොල්දාදුවන් තව තවත් බඳවා ගැනීමට කටයුතු කළහ. එදා පාලකයාට සිය බලය ආරක්ෂා කරගැනීම සඳහා සොල්දාදුවා වැදගත් විය. එම නිසා ඔහුට හොඳින් සැළකීමටත්, අවශ්‍ය පහසුකම් ලබා දීමටත් කළ හැකි සියල්ල සිදු කළේය. අද වන විට යුද්ධය අවසන්ව ඇත. පාලයාට තමාගේ බලය ආරක්සා කරගැනීම සඳහා තවදුරටත් සොල්දාදුවා අවශය නැත. එම නිසා ඔහුට හොඳින් සැළකීම හෝ අවශය පහසුකම් ලබාදීම හෝ වර්ණනා කිරීම තවදුරටත් අවශය නොවන නැනට කරුණු යෙදී තිබේ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා යයි පවසන සිවිල් සංවිධාන මේ මොහොතේ දී සොල්දාදුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ මේ මොහොතේ රණවිරුවන් විකිණිමට ඉතා පහසු නිසා මිස අන් කිසිත් නිසා නොවේ. යුද්ධය නිමා වී වසර 8 ගතවී ඇති අතර ඉන් වසර 6ක් රටේ පාලනය ගෙන ගියේ අද මේ සෙබලුන් වෙනුවෙන් පෙනී සිටිනවා යයි පවසන කණ්ඩායමේ හිතේෂීන් වන නමුත් ඒ වසර 6 තුළ දී මෙම ගැටළුව නිරාකරණය නොකිරීම සම්බන්ධයෙන් කිසිඳු හඬක් නැගීමට මෙම පිරිස කටයුතු කළේ නැත. ඇත්ත වශයෙන්ම මෙවැනි ගැටළුවක් විසඳාගැනීමට අවශ්‍ය පසු බිම සැළසීමේ කිසිඳු අවශ්‍යතාවයක් ද මෙම සිවිල් සංවිධාන වලට නැත. එසේ වන්නේ තමාගේ පැවැත්ම පවතින්නේ මේ ආකාරයේ ගැටළු නොවිසඳී තවත් කාලයක් පුරාවට පවතිනා තෙක් පමණි.

මෙය ලංකාවට පමණක් වලංගු කාරණාවක් නොවේ. ඇමරිකා එක්සත් ජනපදයේ නිවසකට හිමිකම් නොකියන මිලියන ½කට ආසන්න ජනතාවගෙන් 8%ක් ඇමෙරිකානු හමුදාවේ සේවයේ නියුතු වූ පිද්ගලයන් වන අතර තවත් ඇමෙරිකානු හමුදාවේ සිටි මිලියන 1 ½ක පමණ පිරිසක් මේ නිවාස අහිමි යාචකයන්ගේ ගොඩට එකතුවීමේ අවධානමෙන් පසුවෙති. ඇමෙරිකානු දේශපාලන පිටිය තුළද ප්‍රධාන පක්ෂ දෙකම මේ ආකාරයටම රණවිරුවන් වෙනුවෙන් හෙළූ කිඹුල් කඳුළු ප්‍රමාණය අනන්ත වන නමුත් ඔවුන්ට ඇති ගැටළු විසදීම සඳහා ගෙන ඇති සාර්ථක ක්‍රියාමාර්ගයක් පෙනෙන්නට නොමැත. යම් හෙයකින් කොටි සංවිධානය ඊලමක් පිහිටවූවානම් ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් අති බහුතරයකටස මේ ඉරණමම අත්වන ආකාරය අපහට දක්නට ලැබෙන්නට ඉඩකඩ තිබුනි.

රාජ්‍ය පාලන ඕමි පිටියේ තුරුම්පු තවදුරටත් රණවිරුවා නොවේ. අද අප දුටුවේ ඒ යථාර්ථයයි.


ඡායාරූපය: සංඛ විදානගම

Sunday, November 6, 2016

මරපාලනයට නොදෙවනි යහපාලන මාධ්‍ය ආචාරධර්ම





පසු ගිය සතිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේදී තරුණයෙකු මියයාමේ සිදුවීම පදනම් කරගෙන ඔහුගේ දියණිය සම්බන්ධකරගනිමින් ඉතාම පහත් ආකාරයේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත්වනු දක්නට හැකිවිය. මේ සම්පූර්ණ ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ බහුතරයක් ශ්‍රී-ලාංකිකයින් හොර රහසේ රුචිකත්වයක් දක්වන ලිංගිකත්වය සහ කුනු රසය උළුප්පා දක්වමිනි. මින් බහුතරයක් පුවත් සඳහා පැහැදිළි මූලාශ්‍ර නොතිබුනා මෙන්ම ඒවා පාදක වී තිබුනේ ඔවුන්ගේ මනෝමූලික උපකල්පනයන් මත පමණි.

විශේෂයෙන්ම ශ්‍රී-ලාංකාව තුළ පවත්නා ආගමික සහ සංස්කෘතික වටපිටාව තුළ මාධ්‍ය විසින් කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් වාර්ථාකරනයේ දී විශේෂ සැළකිල්ලක් යොමුකළ යුතුව ඇති බව අවිවාදිත කරුණකි. මෙවැනි සිදුවීම් හේතුවෙන් සමාජයෙන් එල්ලවන අපවාද, චෝදනා සහ මානසික පීඩිනය හේතුවෙන් අවසානයේ දී සිය ජීවිතය පවා අහිමිකරගන්නා තැනට පත්වූ සිදුවීම් විරල නොවේ. මාධ්‍යකරණය තුළ කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී විශේෂ ආචාරධර්ම පද්දතියක් අනුගමනය කිරීම සිදුවන්නේ මේ හේතුවෙනි. මාධ්‍ය යනු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා භාවිතා කළහැකි ප්‍රභල අවියක් වනවා සේම එය භාවිතා කිරීමේ දී නිසි විනයක් ඇතිව වගකීම් සහගතව භාවිතා කිරීම තුළින් මාධ්‍යකරණයට මෙන්ම සමාජයට එයින් සිදුවියහැකි හානිය අවම කරගැනීමට මාධ්‍යවේදියා සතු වගකීමක් ද වේ.

මේ සිදුවීමේ ඇති අනෙක් අවාසනාවන්ත කරුණ වන්නේ සමාජ ජාල පිටු සහ ගොසිප් වෙබ් අඩවි තුළ මෙම ව්‍යාපෘතිය දියත්වන්නේ යහපාලනය, මාධ්‍ය සදාචාරය, යුක්තිය වෙනුවෙන් පෙනීසිටිනවා යයි කියාගන්නා වර්ථමාන රජයේ ප්‍රචාරණ ව්‍යාපාරයන් මෙහෙයවන පාර්ශවය තුළින් වීමයි. විමල් වීරවංගේ දේශපාලනය හෝ පෞද්ගලික හැසිරීම සම්බන්ධයෙන් ගැටළු ඇති බව සත්‍යවන නමුත් එවා පිරිමසාගැනීම සඳහා ඔහුගේ දරුවන් භාවිතා කිරීම කිසිසේත්ම අනුමත කළ හැකි කරුණක් නොවේ. විශේෂයෙන්ම යහපාලන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනීසිටිනවා, ඒ වෙනුවෙන් කටයුතු කරනවා යයි යයි පවසනා කණ්ඩායමක් ඒ ආකාරයෙන් කටයුතු කිරීම ඔවුන් පෙනී සිටිනවා යයි පවසන අරමුණ සහ ප්‍රතිපත්ති අමු අමුවේම දූෂණය කිරීමකි.

එමෙන්ම මෙම සිදුවීම දී මීට පෙර මෙවැනි අවස්ථාවන්හි ඊට විරුද්ධව ඉදිරිපත්වූ සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන ඇය වෙනුවෙන් ඉදිරිපත් නොවී කර ඇරීමත් මෙම සිදුවීමේ දී දක්නට ලැබුනු අවාසනාවන්ත තත්වයකි. තමාගේ විරුද්ධවාදියෙක් වීම නිසා මුනිවත රකින සියළු දෙනා අවබෝධකරගත යුතු කරුණ වන්නේ මෙම ව්‍යාපාරය දියත් කළ පුද්ගලයන් ඔවුන් වෙතද මේ හැන්දෙන්ම බෙදීමට කිසිඳු අවස්ථාවක පසුබට නොවන බවයි.