Sunday, November 6, 2016

මරපාලනයට නොදෙවනි යහපාලන මාධ්‍ය ආචාරධර්ම





පසු ගිය සතිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේදී තරුණයෙකු මියයාමේ සිදුවීම පදනම් කරගෙන ඔහුගේ දියණිය සම්බන්ධකරගනිමින් ඉතාම පහත් ආකාරයේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත්වනු දක්නට හැකිවිය. මේ සම්පූර්ණ ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ බහුතරයක් ශ්‍රී-ලාංකිකයින් හොර රහසේ රුචිකත්වයක් දක්වන ලිංගිකත්වය සහ කුනු රසය උළුප්පා දක්වමිනි. මින් බහුතරයක් පුවත් සඳහා පැහැදිළි මූලාශ්‍ර නොතිබුනා මෙන්ම ඒවා පාදක වී තිබුනේ ඔවුන්ගේ මනෝමූලික උපකල්පනයන් මත පමණි.

විශේෂයෙන්ම ශ්‍රී-ලාංකාව තුළ පවත්නා ආගමික සහ සංස්කෘතික වටපිටාව තුළ මාධ්‍ය විසින් කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් වාර්ථාකරනයේ දී විශේෂ සැළකිල්ලක් යොමුකළ යුතුව ඇති බව අවිවාදිත කරුණකි. මෙවැනි සිදුවීම් හේතුවෙන් සමාජයෙන් එල්ලවන අපවාද, චෝදනා සහ මානසික පීඩිනය හේතුවෙන් අවසානයේ දී සිය ජීවිතය පවා අහිමිකරගන්නා තැනට පත්වූ සිදුවීම් විරල නොවේ. මාධ්‍යකරණය තුළ කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී විශේෂ ආචාරධර්ම පද්දතියක් අනුගමනය කිරීම සිදුවන්නේ මේ හේතුවෙනි. මාධ්‍ය යනු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා භාවිතා කළහැකි ප්‍රභල අවියක් වනවා සේම එය භාවිතා කිරීමේ දී නිසි විනයක් ඇතිව වගකීම් සහගතව භාවිතා කිරීම තුළින් මාධ්‍යකරණයට මෙන්ම සමාජයට එයින් සිදුවියහැකි හානිය අවම කරගැනීමට මාධ්‍යවේදියා සතු වගකීමක් ද වේ.

මේ සිදුවීමේ ඇති අනෙක් අවාසනාවන්ත කරුණ වන්නේ සමාජ ජාල පිටු සහ ගොසිප් වෙබ් අඩවි තුළ මෙම ව්‍යාපෘතිය දියත්වන්නේ යහපාලනය, මාධ්‍ය සදාචාරය, යුක්තිය වෙනුවෙන් පෙනීසිටිනවා යයි කියාගන්නා වර්ථමාන රජයේ ප්‍රචාරණ ව්‍යාපාරයන් මෙහෙයවන පාර්ශවය තුළින් වීමයි. විමල් වීරවංගේ දේශපාලනය හෝ පෞද්ගලික හැසිරීම සම්බන්ධයෙන් ගැටළු ඇති බව සත්‍යවන නමුත් එවා පිරිමසාගැනීම සඳහා ඔහුගේ දරුවන් භාවිතා කිරීම කිසිසේත්ම අනුමත කළ හැකි කරුණක් නොවේ. විශේෂයෙන්ම යහපාලන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනීසිටිනවා, ඒ වෙනුවෙන් කටයුතු කරනවා යයි යයි පවසනා කණ්ඩායමක් ඒ ආකාරයෙන් කටයුතු කිරීම ඔවුන් පෙනී සිටිනවා යයි පවසන අරමුණ සහ ප්‍රතිපත්ති අමු අමුවේම දූෂණය කිරීමකි.

එමෙන්ම මෙම සිදුවීම දී මීට පෙර මෙවැනි අවස්ථාවන්හි ඊට විරුද්ධව ඉදිරිපත්වූ සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන ඇය වෙනුවෙන් ඉදිරිපත් නොවී කර ඇරීමත් මෙම සිදුවීමේ දී දක්නට ලැබුනු අවාසනාවන්ත තත්වයකි. තමාගේ විරුද්ධවාදියෙක් වීම නිසා මුනිවත රකින සියළු දෙනා අවබෝධකරගත යුතු කරුණ වන්නේ මෙම ව්‍යාපාරය දියත් කළ පුද්ගලයන් ඔවුන් වෙතද මේ හැන්දෙන්ම බෙදීමට කිසිඳු අවස්ථාවක පසුබට නොවන බවයි.

No comments:

Post a Comment