
ශ්‍රී-ලංකාවේ සාමාන්‍ය නීතිය සහ උඩරට නීතිය යටතේ විවාහ වීමේ අවම වයස අවුරුදු 18ක් වන නමුත් මුස්ලිම් නීතියට අනුව එය එසේ නොවේ. 1951 දී සම්මත කරන ලද මුස්ලිම් විව්වාහ සහ දික්කසාද පනතට අනුව මුස්ලිම් කාන්තාවක් විවාහ කරගැනීමට හැකි අවම වයස අවුරුදු 12කි. එමෙන්ම යම් හෙයකින් දැරිය වයස අවුරුදු 12ට අඩු නම් ක්වාසිවරයා වෙත පෙර දැනුම් දීමකින් සහ අනුමැතිය ලබාගැනීමකින් අනතුරුව විවාහ කරගැනීමට මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත අවස්ථාව ලබා දී තිබේ.
එමෙන්ම සාමාන්‍ය විවාහයක දී ඒ සඳහා අනුමැතිය ලබාදීමේ නෛතික බලය පවතින්නේ විවාහ වන කාන්තාව සතුව වන නමුත් මුස්ලිම් විවාහ නීතිය යටතේ සිදුකරන විවාහයක දී විවාහය සඳහා අනුමැතිය දීමට විවාහ වන කාන්තාවට හැකියාවක් නැත. එම අනුමැතිය ලබාදීමේ බලය හිමිවන්නේ එම කාන්තාවගේ පියාට හෝ භාරකරු හටයි. විවාහ වන කාන්තාව ක්වාසි හට තමාගේ කැමැත්ත ප්‍රකාශ කළ යුතුය.
ශ්‍රී ලංකාව තුළ ළමා විවාහ සිදුවීම ඉතාම අවම මට්ටමක බවතින බව බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන නමුත් සත්‍ය වශයෙන්ම මුස්ලිම් නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාලේඛන වලට අනුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවක් විවාහ දිවියට පත්වීමේ වයසේ සාමාන්‍ය අවුරුදු 14-17 ත් අතර වේ. කොළඹ නගරය තුළ පවා මුස්ලිම් නීතිය යටතේ විවාහ වීමේ වයසේ සාමාන්‍ය 15-17 ත් අතර වේ.
ගැටලුව පවතින්නේ වයස අවුරුදු 14ක දැරියකට එවැනි බැරෑරුම් තීරණයක් ගැනීමට හැකියාවක් පවතිනවාද යන්න සම්බන්දයෙනි. ඉතාමත් ගතානුගතික පීතෘමූලික සමාජයක් වන මුස්ලිම් සමාජය තුළ පමණක් නොවේ අනෙකුත් ශ්‍රී ලාංකික සමාජය තුළ ඇති සමාජ සංසකෘතියට අනුව විවාහය යනු ඉතාමත් බරපතළ තීරණයකි. බොහෝ විට මේ ආකාරයේ ළමා විවාහ සිදුවන හේතු දෙකකි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඔවුන්ගේ පවුල් සංස්ථාව තුළ පවතින දැඩි සංස්කෘතික පසුබිම හේතුවෙනුත් ඉතිරිය ආර්ථික දුෂ්කරතා, රැකවරණය සහ ආරක්ෂාව අපේක්ෂාවෙනුත් මෙලෙස අඩු වයසින් විවාහ දිවියට ඇතුළු වෙති. මෙවැනි පසුබිමක් යටතේ තමුන්ගේ දෙමවුපියන් විසින් සිදුකරන යෝජනාවකට එකඟ නොවීම දැරියකට පහසු කටයුත්තක් නොවේ. ප්‍රායෝගික තත්ව යටතේ දී මේ ආකාරයෙන් සිදුවන ළමා විවාහ වලින් සඳහා විවාහ වන දැරියගේ අනුමැතියක් අවශ්‍යවන්නේ නැත. යම් හෙයකින් මෙසේ යම් කිසි දැරියක් ඇයගේ අනුමැතියකින් තොරව විවාහය දිවියට ඇතුළත් කරගත් බවට චෝදනා ඔප්පු කළ ද ඒ සඳහා නයම කළහැකි දඬුවම වන්නේ රු. 100කට නොවැඩි දඩයක් හෝ මාස 6කට නොවැඩි සිරදඬුවමක් හෝ මේ දෙකම හෝ වේ. එමෙන්ම ගාතානුගතික අදහස් වලින් පිරි පිරිමින්ගෙන් පමනක් සමන්විත සහ අර්ධ අධිකරණමය ආයතනයක් වන ක්වාසි අධිකරණයක් දැරියගේ දෘෂ්ඨි කෝනයෙන් මෙවැනි ගැටළුවක් දෙස බලනු ඇතැයි සිතීමට නොහැක.
මෙසේ අඩු වයසින් විවාහ ජීවිතයට පත්වීම තුළන් පැන නඟින ගැටළු විශාල ප්‍රමාණයකි. මේ ආකාරයෙන් අඩුවයසින් විවාහ දිවියට පත්වන දැරියන් බහුතරයකගේ අධ්‍යාපන කටයුතු ඒත් සමඟ ඇනහිටින අතර හිෂීමා හමීන් සහ හසානා ඉසඩින් විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය යටතේ සිදුවන ළමා වීවාහ සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ මේ ආකාරයට අඩු වයසින් විවාහ දිවියට පත්වන බහුතරයක් දැරියන්ගේ අධ්‍යාපන මට්ටම 5වන ශ්‍රේණියට පමණක් සීමා වී ඇති බවයි. එමෙන්ම මේ ආකාරයෙන් සැමියා සහ බිරිඳ අතර අනයෝන්‍ය අවබෝධයකින් තොරව සිදුවන විවාහ අති බහුතරයක් ගැටුම් කාරී ඒවා වන අතර ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමට නොහැකියාව සහ ගෙදර දොර වැඩකටයුතු සිදුකිරීමට ඇති නොහැකියාව පදනම් කරගනිමින් සැමියා විසින් දික් කසාදය සඳහා ඇයැදුම් කිරීම සුලභ තත්වයකි. නිසි අධ්‍යාපනයක් නොලැබූ දැඩි සංස්කෘතික පසුබිමක් යටතේ ජීවත් වූ කාන්තාවකට සැමියාගෙන් ඉවත් වී තනිවම සිය ජීවිකාව පවත්වාගෙන යාම පහසු කරුණක් නොවේ. පවතින අඩු අධ්‍යාපන මට්ටම හේතුවෙන් බොහෝ විට මෙවැනි කාන්තාවකට නිසි රැකියාවක් සොයාගැනීමට අපහසු වනවා මෙන්ම එම කාන්තාවන් මුස්ලිම් සමාජය තුළ කොන්වීමකට ද ලක්වේ. මේ හේතූන් නිසා මේ ආකාරයට දික් කසාද වන කාන්තාවන් මුහුණදෙන්නේ අතිශය සෝචනීය තත්වයකටයි. තමාට තමාව නඩුත්තු කරගැනීමට නොහැකි වීමත්, ස්වාධීන දිවි පෙවතකට හුරු නොවී සිටීමත් නිසා බොහොමයක් කාන්තාවන් සියළු දුක් කම්කටොළු විඳගෙන සැමියා සමඟ ජීවත් වීමට තීරණය කරති.
තවද වයස අවුරුදු 16කට අඩු දැරියක් සමඟ ඇයගේ කැමැත්ත ඇතිව වුවද ලිංගිකව එක්වීම දණ්ඩනීති සංග්‍රහයේ 363 ඊ වගන්තියට අනුව වරදක් ලෙස ප්‍රකාශ කර ඇති නමුත් 1995 වසරේ සිදුකරන ලද සංඝෝධනය හරහා එම දැරිය වසය අවුරුදු 12ට වැඩිනම්, අදාල පුද්ගලයාගේ නෛතික භාර්යාව නම් සහ අදාල පුද්ගලයාගෙන් නීත්‍යානුකූලව වෙන්වී නොමැති නම් ඇයත් සමඟ ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස නොසැළකෙන බවට නව අර්ථ කථනයක් ලබාදී තිබේ. මේ අනුව යම් කිසි පුද්ගලයෙකු වයස අවුරුදු 12ක දැරියක් මුස්ලිම් විවාහ නීතියට අනුව සරනපාවා ගතහොත් ඇයත් සමඟ ලිංගිකව එකතු වීම සඳහා නෛතිකව බාධාවක් නොමැති වන තැනට කරුණු සැළසී තිබේ.
පවතින මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මේ ආකාරයේ සාමාජීය ගැටළු ගණනාවක් ඇතිකරන පනතක් බවට පත්ව ඇති නමුත් ආගමික හා සංස්කෘතික බලපෑම හේතුවෙන් එය වර්ථමානයට වඩාත් උචිත ලෙස සංශෝධනය කිරීමේ වගකීමෙන් මෙතෙක් බලයේ සිටි සියළුම දේශපාලඥයින් කත් අරිමින් සිටිති.
Illustration: Child Marriage by Asuf Hanuka
No comments:
Post a Comment