Monday, November 16, 2015

මෛත්‍රී සෝභිත හිමිට වූ පොරොන්දු ඉටුකරයි ද?



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ වත්මන් මැතිවරණ ක්‍රමය වෙනස්කිරීම. මේවා අපට පසුගිය දශක කිහිපය පුරාවටම දේශපාලන වේදිකාවන්තුල දැඩිව කතාබහට ලක්වූ මාතෘකාවක්. පසුගිය දශක දෙක පුරාවට පත්වූ ජනාධිපතිවරුන් තිදෙනෙකු විසින් මෙම පොරොන්දු දෙක තමා බලයට පත්වීමට ප්‍රථම ජනතාව වෙත ලබාදුන් නමුත් තමාගේ අතට ජනාධිපති තනතුර හිමිවීමෙන් අනතුරුව මේ දෙකෙන් එකක් හෝ ඉටුකිරීමට ඔවුන් කිසිවෙකුත් කිසිඳු අවස්ථාවක කටයුතු කලේ නැත.

පලමුවරට මෙම පොරොන්දුව ලබාදුන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමා ජනාධිපතිවරණයට පත්වීමෙන් අනතුරුව තමා එම පොරොන්දුව ලබාදුන් බව අමතක කළාය. මෙසේ බලයට පැමිණි ජනාධිපතිවරු තමා ලබාදුන් පොරොන්දුව අමතක කරන්නට පමණක් නොව එයට පටහැනිව යමින් විධායක ජනාදිපති ධූරයට පත්වීමට තිබූ අවස්ථා දෙකක සීමාව ඉවත්කරගැනීම පවා කටයුතු කළහ.

මේ සඳහා පලමු උත්සාහය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් දරණ ලද අතර එය සාර්ථකකරගැනීමට ඇයට හැකියාවක් ලැබුනේ නැත. නමුත් 2010 සැප්තැම්බර් 9වන දින මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මතකරගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් විය.

මේ ආකාරයට යම් ජනාධිපතිවරුන් විධායක බලතල වැඩිකරගත්තා සේම 2001 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සිය බලතල අඩුකරගනිමින් 17වන සංශෝධනය සම්මතකරගැනීමට සිදුවූයේ එවකට පැවැති දේශපාලන පසුබිමේත් ජනතා විමුක්ති පෙරමුණේත් දැඩි බලපෑමට හසුවීම හේතුකොට ගෙනයි. එමෙන්ම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම වසරේ දී 19වන සංශෝධනය හරහා සිය බලතල යම්කිසි ප්‍රමාණයකට අඩුකරගැනීමට කටයුතු කළේය.

නමුත් තමා ජනතාව වෙත ලබාදුන් පොරොන්දුව වන විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසිකිරීම මෙම දේශපාලඥයන් කිසිවෙකුටත් සිදුකිරීමට හැකියාවක් ලැබුනේ නැත.

එමෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන් තිදෙනාම දැනට පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් කරන බවට ලබාදුන් පොරොන්දුවද ඉටුකිරීමට කටයුතු කොට නැත.

මේ වෙනස්කම සිදුකිරීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සාහ කළ නමුත් එම කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ අතර එකඟතාවයකට පැමිණිමට කල්ගතවීමත් පැවැති දේශපාලන වාතාවරණයත් හේතුකොට ගෙන එම පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරවා හැරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවිය.

මේ කරුණු කාරනා මේ ආකාරයෙන් පැවසීමට හේතුව පසුගිය දා මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහනෝතස්වයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා සෝභිත හිමියන් බලා පොරොත්තු වූ පරිදි විධායක ජනාධිපති ධූරය අහෝසිකරන බවටත් එමෙන්ම වර්ථමානයේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස්කිරීමට කටයුතු කරන බවටත් නැවත වතාවක් පොරොන්දු වීමයි.

ජනතාව බහුතරයක් මේ වෙනස්කම් දෙක ශ්‍රී-ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල සිදුවිය යුතු බව විශ්වාසකරන නමුත්, මේ සම්බන්ධයෙන් කෙරෙන කතාබහ ඉතාමත් අඩුවීම තුල පොදු වශයෙන් දේශපාලඥයන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාව තුල ඇති විශ්වාසය සැලකිය යුතු අයුරින් පිරිහී ඇති බවක් පෙනීයයි.

නමුත් මෙහිදී බොහෝ දෙනා අමතක කරන කරුනු දෙකක් ඇත. එනම් මෙතෙක් පත් වූ ජනාධිපතිවරුන් අතරින් තමාගේ බලය ස්වකැමැත්තෙන් යම් ප්‍රමාණයකට හෝ අඩුකිරීමට කටයුතු කළේ වත්මන් ජනාධිපතිවරයා බවත් එමෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක උත්සාහයක් හෝ ගත්තේ මේ ජනාධිපතිවරයා පමණක් වීමත් යන කරුණු දෙකයි.

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා තම පොරොන්දු ඉටුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පත්වූ ජනාධිපතිවරුන්ට වඩා වැඩි සැලකිල්ලක් දක්වා ඇති බව අවිවාදයෙන් පිලිගැනීමට සිදුවේ. නමුත් එයින් අනතුරුව මේ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගැනීම නිසා ජනතාව යම් තරමක අවිනිශ්චිත තාවයකින් පසුවන බවත් පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත වතාවක් පැවැති ජනප්‍රසාදය දිනාගන්නට නම් මෙම ලබාදුන් පොරොන්දු කඩිනමින් ඉටුකිරීම කෙරෙහි අවධානය යොමුකළයුතුව ඇත.

No comments:

Post a Comment