Saturday, November 21, 2015
නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීම ඇත්තටම වැරදි ද?
ශ්‍රී-ලංකාවේ පාසල් නිල ඇඳුම් පිළිබඳ ඉතිහාසය දශක ගණනාවක් ඈතට විහිදෙන එකක්. යම් යම් මත බේද තිබෙන නමුත් පාසල් දරුවන් අතර සමානාත්මතාවය වර්ධනය කිරීම මෙහි අරමුණ බව බොහොමයක් අධ්‍යාපනඥයින් පවසන කරුනක්.
කොහොම වුනත් ලංකාව වගේ රටක සමහර දුෂකර ප්‍රදේශවල අඩු ආදායම් සහිත දරුවන්ට නිල ඇඳුම් සපයාගැනීම එතරම් පහසු කරුණක් නොවෙයි. හිටපු ජනාධිපතිවරයෙක් වන ජේ.ආර්. ජයවර්ධණ පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් ලබාදීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ මේ ගැටළුවට පිළයමක් වශයෙන්. ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා නිල ඇඳුම් බෙදා දීමේ දී ඔහු විසින් සිදුකළේ නිල ඇඳුම් සඳහා අවශය ප්‍රමාණයට රෙදි පාසල් දරුවන් වෙත ලබාදීම. එම කාලයේ වර්ථමානයේ වගේ රෙදි මිලදීගන්න පුළුන් ස්ථාන හැමතැනම තිබුනේ නැහැ ඒ වගේම රජයට අයත් රෙදි කර්මාන්ත ශාලා හරහා ශ්‍රී-ලංකාව තුලම මෙම රෙදි නිශ්පාදනය කිරීමේ හැකියාවක් පැවතුනා. එමනිසා ඒ වෙනකොට පැවති වාතාවරණයට අනුව මෙසේ රජය විසින් රෙදි ලබා දීමට කටයුතු කිරීම පිළිබඳ ගැටළුවක් පැවතුනේ නැහැ.
නමුත් වර්ථමානය වනවිට තත්වය සැළකියයුතු ලෙස වෙනස්වෙලා තියෙනවා. මේවනවිට ශ්‍රී-ලංකා රජයට අයත් කර්මාන්තශාලා හරහා රෙදි නිශ්පාදනයක් සිදුවන්නේ නැහැ. දැනට බෙදන රෙදි ලබාදෙන්නේ ටෙන්ඩර් කැඳවීම මඟින් තොරාගන්නා පෞද්ගලික සැපයුම්කරුවෙකු හරහා. ඒ වගේම රෙදි පිළි ම්ලදීගැනීම ඒ වකවානුවේ තරම් අපහසු නැහැ. ඕනෑම නගරයක ඇති රෙදි පිළි සාපුපුවක් හරහා රෙදි මිළදීගැනීමේ හැකියාවක් මේ වනවිට පවතිනවා.
ඒ වගේම ලංකාව තුල පවතින රෙගුලාසි යටතේ මෙසේ රෙදි ලබා දීමේදී මේ දක්වා සියළුම අවස්ථාවන්හිදී නොයෙකුත් ආකාරයේ අක්‍රමිකතා ඇතිවූ බව නොරහසක්. අක්‍රමිකතා සිදුවීමට නොහැකිවන ආකාරයට පවතින හිඩැසි වැසීමට කටයුතු කළයුතුයයි යමෙකු තර්කකරනු ඇති. නමුත් ශ්‍රී-ලංකාවේ මෙතෙක් පැවති ශ්‍රී-ලංකාව තුල මුල්බැසගෙන ඇති ක්‍රියාකලාපයන් එක්ක මේ කියන අක්‍රමිකතා මඟහරවාගැනීමට කටයුතු කිරීම එතරම් ප්‍රායෝගික නැහැ.
එම හේතුව නිසා තවදුරටත් පාසල් නිල ඇඳුම් ලබාදීමේ දී රෙදි වශයෙන් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් වෙන්නේ නැහැ. එමෙන්ම මෙතෙක් පැවති ක්‍රියාවලිය තුල බොහොමයක් දෙනෙක් නොදකින ලද පැතිකඩක්ද තියෙනවා. පවතින විවෘත ආර්ථික ක්‍රමය යටතේ හා පවතින වානිජ රෙගුලාසි යටතේ තනි සමාගමක් සඳහා මෙවැනි අති විශාල ටෙන්ඩරයක් ලබාදීම තුල එම සමාගමට රෙදි ආනයන ක්ෂේස්ත්‍රය තුල ඒකාධිකාරයක් ස්ථාපනය කරගැනීමට පහසුවෙන් හැකියාව ලැබීම.
ලෝකයේ බොහෝ රටවල එක් සමාගමකට එක් ක්ෂේස්ත්‍රයක් තුල ඒකාධිකාරයක් ගොඩනඟාගැනීම අපහසු කිරීම සඳහා නීති රීත් සම්පාදනය කරලා තියෙන නමුත් මෙතෙක් ශ්‍රී-ලංකාව තුල ඒ ආකාරයට නීති රීති සම්පාදනය කරලා නැහැ. ඒ නිසා ලංකාව තුල මෙවැනි ටෙන්ඩරයක් ලබාගන්නා සමාගමකට තම ක්ෂේස්ත්‍රය ඇතුලේ අනෙක් සමාගම් වලට විශාල බලපෑමක් කිරීමේ හැකියාවල් තිබෙනවා. ඒ අනුව මේ ආකාරයට ඒකාධිකාරයක් ගොඩනඟාගානීම තුල ඔවුන්ට වෙළඳපොල තමාට රිසි ආකාරයට පාලනය කිරීමටත් අනෙකුත් තරඟකරුවන්ට වෙළඳපොලට ඇතුළු වීම අවහිරකිරීමටත් පහුසුවෙන් පුළුවන්කම ලැබෙනවා. ඇයි ඒකට විරුද්ධව නීති හදන්න බැරිද කියන තර්කය ගොඩක් දෙනෙකුට නඟන්න පුළුවන් හැබැයි ලංකාවේ පවතින දේශපාලන සංස්කෘතිය යටතේ එහෙම නීති සම්පාදනය කරන්න උත්සාහකරන එක කොච්චර සාර්ථක වෙයි ද කියන එක සම්බන්ධයෙන් ගැටළු තියෙනවා.
සමහර දේශපාලඥයන් පවා එල්ල කරන චෝදනාවක් වන්නේ සමහර බේබදු දෙමාපියන් මෙසේ ලැබෙන වවුචර් මුදල්කොට ඒ මුදල් තමාගේ පෞද්ගලික කටයුතු සඳහා භාවිතාකරනු ඇති බව. දැනට ලැබෙන පාසල් රෙදි මිලදීගැනීම සඳහා වෙනම වෙළඳපොලක් නිර්මාණය වී ඇති බව මෙසේ පොළවේ පය නොගසා ජීවත්වන දේශපාලඥයින් නොදන්නා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
යමක් සිදුකරන ක්‍රමය සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් උද්ගතව ඇති විට අප සියළු දෙනා බොහෝවිට පුරුදුව ඉන්නේ එ් සඳහා පැලැස්තර විසඳුමක් යොදලා එම ගැටළුව මඟහරවා ගැනීමට උත්සාහ කිරීමට. නමුත් එම ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත්කරලා අවශ්‍යතාවයට ගැලපෙන නව ක්‍රමයක් ස්ථාපිතකරවීම කාලයෙන් කාලයට සිදුකළ යුතු අවශ්‍යතාවයක් බව අවබෝධකරගැනීම ඉදිරියට යාමට බලාපොරොතුත්වන රටක් අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්.
Labels:
Corruption,
Education,
Sri Lanka
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment