Sunday, November 6, 2016

මරපාලනයට නොදෙවනි යහපාලන මාධ්‍ය ආචාරධර්ම





පසු ගිය සතිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේදී තරුණයෙකු මියයාමේ සිදුවීම පදනම් කරගෙන ඔහුගේ දියණිය සම්බන්ධකරගනිමින් ඉතාම පහත් ආකාරයේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත්වනු දක්නට හැකිවිය. මේ සම්පූර්ණ ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ බහුතරයක් ශ්‍රී-ලාංකිකයින් හොර රහසේ රුචිකත්වයක් දක්වන ලිංගිකත්වය සහ කුනු රසය උළුප්පා දක්වමිනි. මින් බහුතරයක් පුවත් සඳහා පැහැදිළි මූලාශ්‍ර නොතිබුනා මෙන්ම ඒවා පාදක වී තිබුනේ ඔවුන්ගේ මනෝමූලික උපකල්පනයන් මත පමණි.

විශේෂයෙන්ම ශ්‍රී-ලාංකාව තුළ පවත්නා ආගමික සහ සංස්කෘතික වටපිටාව තුළ මාධ්‍ය විසින් කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් වාර්ථාකරනයේ දී විශේෂ සැළකිල්ලක් යොමුකළ යුතුව ඇති බව අවිවාදිත කරුණකි. මෙවැනි සිදුවීම් හේතුවෙන් සමාජයෙන් එල්ලවන අපවාද, චෝදනා සහ මානසික පීඩිනය හේතුවෙන් අවසානයේ දී සිය ජීවිතය පවා අහිමිකරගන්නා තැනට පත්වූ සිදුවීම් විරල නොවේ. මාධ්‍යකරණය තුළ කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී විශේෂ ආචාරධර්ම පද්දතියක් අනුගමනය කිරීම සිදුවන්නේ මේ හේතුවෙනි. මාධ්‍ය යනු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා භාවිතා කළහැකි ප්‍රභල අවියක් වනවා සේම එය භාවිතා කිරීමේ දී නිසි විනයක් ඇතිව වගකීම් සහගතව භාවිතා කිරීම තුළින් මාධ්‍යකරණයට මෙන්ම සමාජයට එයින් සිදුවියහැකි හානිය අවම කරගැනීමට මාධ්‍යවේදියා සතු වගකීමක් ද වේ.

මේ සිදුවීමේ ඇති අනෙක් අවාසනාවන්ත කරුණ වන්නේ සමාජ ජාල පිටු සහ ගොසිප් වෙබ් අඩවි තුළ මෙම ව්‍යාපෘතිය දියත්වන්නේ යහපාලනය, මාධ්‍ය සදාචාරය, යුක්තිය වෙනුවෙන් පෙනීසිටිනවා යයි කියාගන්නා වර්ථමාන රජයේ ප්‍රචාරණ ව්‍යාපාරයන් මෙහෙයවන පාර්ශවය තුළින් වීමයි. විමල් වීරවංගේ දේශපාලනය හෝ පෞද්ගලික හැසිරීම සම්බන්ධයෙන් ගැටළු ඇති බව සත්‍යවන නමුත් එවා පිරිමසාගැනීම සඳහා ඔහුගේ දරුවන් භාවිතා කිරීම කිසිසේත්ම අනුමත කළ හැකි කරුණක් නොවේ. විශේෂයෙන්ම යහපාලන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනීසිටිනවා, ඒ වෙනුවෙන් කටයුතු කරනවා යයි යයි පවසනා කණ්ඩායමක් ඒ ආකාරයෙන් කටයුතු කිරීම ඔවුන් පෙනී සිටිනවා යයි පවසන අරමුණ සහ ප්‍රතිපත්ති අමු අමුවේම දූෂණය කිරීමකි.

එමෙන්ම මෙම සිදුවීම දී මීට පෙර මෙවැනි අවස්ථාවන්හි ඊට විරුද්ධව ඉදිරිපත්වූ සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන ඇය වෙනුවෙන් ඉදිරිපත් නොවී කර ඇරීමත් මෙම සිදුවීමේ දී දක්නට ලැබුනු අවාසනාවන්ත තත්වයකි. තමාගේ විරුද්ධවාදියෙක් වීම නිසා මුනිවත රකින සියළු දෙනා අවබෝධකරගත යුතු කරුණ වන්නේ මෙම ව්‍යාපාරය දියත් කළ පුද්ගලයන් ඔවුන් වෙතද මේ හැන්දෙන්ම බෙදීමට කිසිඳු අවස්ථාවක පසුබට නොවන බවයි.

Tuesday, February 9, 2016

ප්‍රධාන මාධ්‍යට අමතක වූ දකුණු ආසියානු කීඩා උළෙල

එදා සුසන්තිකාලා, දමයන්ති දර්ෂලා, සුගත් තිලකරත්නලා දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල ජයකෙහෙළි නංවද් දී ශ්‍රී-ලාංකිකයන් වශයෙන් අප සියළු දෙනා ශ්‍රී-ලාංකිකයින් වශයෙන් ආඩම්බරයට පත්වූයෙමු.
ශ්‍රී-ලංකාවේ සියළුම මාධය ආයතන එ් ජයග්‍රහනය පිළිඹඳ වාර්තා කිරීමට කටයුතු කළේ විශාල උනන්දුවක් දක්වමිනි. රාජ්‍ය නාලිකා මෙම තරඟ සජීවීව ජනතාව වෙත ගෙ නඒමට දායක වූ අතර සියළුම පුවත්පත් සිය මුල් පිටුව තුලින් මේ සම්බන්ධයෙන් වාර්ථා කිරීමට කටයුතු කොට තිබුණි.

මේ වනවිට ඉන්දියාවේ ගුවාති සහ ෂිලොන්ග් හි පැවැත්වෙන 12වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුලත් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජය කෙහෙළි නංවමින් සිටිති.

මේ වනවිට රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 27 ක් සහ ලෝකඩ පදක්කම් 23ක් සමඟ සමස්ථ පදක්කම් 61 ක් ලබාගෙන දෙවන ස්ථානයට පත්වන්නට සමස්ථ පදක්කම් සටහනේ ශ්‍රී-ලංකාව සමත්ව ඇති අතර සාමාන්‍යයෙන් ශ්‍රී-ලංකාව දක්ෂතා දක්වන පිටියේ මළල ක්‍රීඩා ඉසව් වලින් පිටතට විත්, පිහිනුම්, පාපැදි, බර ඉසිලීම ආදී ක්‍රීඩා වලින් දස්කම් දක්වාති තිබීම මෙවර සාර්ක් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ඇති විශේෂත්වයයි.
නමුත් මෙවර ප්‍රධාන මාධ්‍ය ආයතන සාර්ක් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් දක්වන අවධානය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි නොවේ. මාධ්‍ය ආයතනයක වගකීම තමාගේ ප්‍රේක්ෂකයන්ට වැදගත්වන, යම් වටිනා කමකින් යුතු කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ව දැනුවත් කිරීමයි. නමුත් කිසිඳු රජයේ හෝ පෞද්ගලික මාධ්‍ය ආයතනයක් සාර්ක් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී-ලංකාව දක්වා ඇති දක්ෂතා සම්බන්ධයෙන් වාර්ථා කිරීමේ වගකීම තමාවෙත ගෙන ඒ වගකීම ඉටුකරන බවක් පෙනෙන්නට නැත.

යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම, විපක්ෂයේ මන්ත්‍රීවරුන් සීනිගම දේවාලයේ පොල් ගැසීම, ඔවුන් හොරෙන් පොල් කැඩුවාද යන්න, එම අවස්ථාවේ දේශපාලකයෙකුගේ මුදල් පසුම්බිය සොරකම් කිරීම, නිදහස් උත්සවයේ ජාතික ගීය දමිල බසින් ගායනා කිරීම, නිදහස් උත්සවයේ ක්‍රිෂානි විජේසිංහ විසින් සිදුකළ ඔපෙරා ශෛලියේ ගායනය, ආදී කිසිඳු වැදගත් කමක් නොමැති, හුදු කුණු රසය පමණක් දැකිය හැකි සංසිද්ධීන් ගණණාවක් සම්බන්ධයෙන් කතිකාවතක් ඇති කිරීමට මෙම මාධ්‍ය ආයතන සියල්ල කටයුතු කරන ආකාරය දක්නට ලැබේ.

සීනිගම දේවාලයට ගොස් පොල් ගසන දේශපාලඥයන් ගැන මහත් උද්යෝගයෙන් වාර්ථා කරන මාධ්‍ය ආයතන ශ්‍රී-ලාංකික ක්‍රීඩකයින් සමඟ ඉන්දියාවට ගොස් ඔවුන් සමඟම නැවතී හිඳිමින් ඔවුන්ව ධෛර්යමත් කිරීමට කටයුතු කරන ක්‍රීඩා අමාත්‍යවරයා සම්බන්ධයෙන් වාර්තා කිරීමට උනන්දුවක් දක්වන්නේ නැත.

සමහර විට සීනිගම දේවාලයට ගොස් පොල් ගැසීම සාර්ක් උළෙල තුල ශ්‍රී-ලංකාව ජයකෙහෙළි නංවනවාට වඩා වැදගත් කරුණක් බවට මෙම මාධය ආයතන වල ප්‍රධානීන්ට පෙනී යනවා වන්නට පුළුවන. එමෙන්ම නිදහස් උත්සවයේ දී ක්‍රිෂානි ජයසිංහගේ ඔපෙරා ගායනය දයාසිරි සාර්ක් ක්‍රීඩා උළෙලට සහභාගීවන ක්‍රීඩකයින් හා සමඟ එකතුව ඔවුන්ව ධෛර්යමත් කරනවාට වඩා වැදගත් යයි සලකනවා වන්නට පුළුවන.
ශ්‍රී-ලංකාව තුල පවතින මාධ්‍ය ආයතන වලට පොදුවේ (රජයේ සහ රජයේ නොවන) ජාතික වැදගත්කමකින් යුත් ප්‍රවෘත්ති මොනවාද, වාර්ථාමය වටිනාකමක් සහිත ප්‍රවෘත්ති මොනවාද, මාධ්‍ය ආයතනයක් වශයෙන් ඔවුන්ගේ රාජකාරි සහ වගකීම් මොනවාද යන්න පිළිබඳව අවබෝධයක් ලබාදියයුතු තත්වයක් උද්ගතව ඇත.

Friday, February 5, 2016

“අතීසාරයට අමුඩය ගැසීමෙන් සිදුවන්නේ අමුඩ ලේන්සුව ජරාවීම පමණකි.”


ජාතික ගීයේ දමිළ අනුවාදනය මේවනවිට බුකියේ ප්‍රධානතම මාතෘකාව බවට පත් වී හමාරයි.
ශ්‍රී-ලංකාව මත ඉපිද ශ්‍රී-ලාංකික පොළවෙන්, සුළඟෙන්, ජලයෙන් පෝෂනය වූ අපි එකිනෙකා හා සන්නිවේදනය සඳහා භාවිතා කරන මිනිසා නිර්මාණය කරගත් භාෂාවක් පමණක් පදනම් කර ගනිමින් දශක 3ක් පුරාවට එකිනෙකා මරා ගත්තෙමු. 

ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් ඇතිව ඇති ගැටළුව දෙස බැලීමේ දී තේරුම් ගතහැකි ප්‍රධාන කරුණ නම් දශක 3ක් පුරාවට පැවැති සිවිල් යුද්ධය අවසන්කොට වසර 6ක් අවසන්ව ඇති නමුත් තවමත් ශ්‍රී-ලාංකික ජනතාව තුල එකිනෙකා කෙරෙහි අනයෝන්‍ය විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට අපොහොසත්ව ඇති බවයි.

දමිළ භාෂාව කතාකරන ජනතාවටත් ජාතික ගීය ගායනා කරන විට තමාගේය යන හැඟීම ඇතිවිය යුතු බව සත්‍යකි. ජාතික ගීයේ දමිළ අනුවාදනය භාවිතා කිරීම තුලින් දමිළ භාෂාව කතාකරන ජනතාව තාවකාලිකව ආමන්දානයට පත්කළ හැකි නමුත් එය මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් නොවේ. 

පලමු කොටම ජාතික ගීය දමිළ බසින් ගායනා කළ යුතු බවට දමිළ ජනතාව තුල මතයක් ගොඩ නැඟෙන්නේත් එසේ ගායනා කරනවාට සිංහල ජනතාව විරුද්ධ වන්නේත් එකම කාරණාවක් පදදනම්කොට ගනිමිණි. එනම් අප දෙකොට්ඨාශය අතර අනයෝන්‍ය විශාවාසයක් නොපැවතීමයි. අප පවතී නම් දමිළ ජනතාවට සිංහල බසින් ජාතික ගීය ගායනා කිරීමටත්, සිංහල ජනතාවට ජාතික ගීයේ දමිළ අනුවාදනයට විරුද්ධ වීමටත් කිසිඳු අවශ්‍යතාවයක් ඇති නොවේ.

සිංහල ජනතාවත් දමිළ ජනතාවත් අතර විශ්වාසය ගොඩ නැංවීම සඳහා ඔවුන් අතර ඇති ගැටළු, විරසක, සබඳතා ආදී සියළුම කරුණු පිළිබඳව සංවාද මණ්ඩපයක් ඇතිකළ යුතුව ඇත. ඒ තුලින් එකිනෙකාගේ සංස්කෘතීන් පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීමටත්, ඒවා අතර ඇති විවිධත්වය, වෙනස්කම් වටහා ගැනීමටත්, ඒවාට ගරුකිරීමටත් උගත යුතුව ඇත. 

අප අතර විශ්වාසය ගොඩ නැඟීමකින් තොරව ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම වැනි සිල්ලර ක්‍රියාකාරකම් තුලින් මෙම ගැටළුවට විසඳුම් ලබාදිය නොහැකි බව පාලකයනුත්, ජනතාවත්, සමාජ ක්‍රියාකාරීනුත් අවබෝධකරගත යුතුය.

මේ ජාතික ගීයේ දමිල අනුවාදනය ගායනා කිරීම වැරදියි කියනවා නොවේ. නමුත් නැවත වතාවක් අප රට ජාතිවාදී ගිනිදැල්වලින් වෙළීයාම නැවැත්වීමට නම් ජාතීන් අතර අනයෝන්‍ය විශ්වාසය වර්ධණය කිරීම සඳහා වැඩ පිළිවෙළක් හැකි ඉක්මනින් ආරම්භ කළයුතුව ඇත.

“අතීසාරයට අමුඩය ගැසීමෙන් සිදුවන්නේ අමුඩ ලේන්සුව ජරාවීම පමණකි.”

Saturday, November 21, 2015

නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීම ඇත්තටම වැරදි ද?


ශ්‍රී-ලංකාවේ පාසල් නිල ඇඳුම් පිළිබඳ ඉතිහාසය දශක ගණනාවක් ඈතට විහිදෙන එකක්. යම් යම් මත බේද තිබෙන නමුත් පාසල් දරුවන් අතර සමානාත්මතාවය වර්ධනය කිරීම මෙහි අරමුණ බව බොහොමයක් අධ්‍යාපනඥයින් පවසන කරුනක්.

කොහොම වුනත් ලංකාව වගේ රටක සමහර දුෂකර ප්‍රදේශවල අඩු ආදායම් සහිත දරුවන්ට නිල ඇඳුම් සපයාගැනීම එතරම් පහසු කරුණක් නොවෙයි. හිටපු ජනාධිපතිවරයෙක් වන ජේ.ආර්. ජයවර්ධණ පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් ලබාදීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ මේ ගැටළුවට පිළයමක් වශයෙන්. ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා නිල ඇඳුම් බෙදා දීමේ දී ඔහු විසින් සිදුකළේ නිල ඇඳුම් සඳහා අවශය ප්‍රමාණයට රෙදි පාසල් දරුවන් වෙත ලබාදීම. එම කාලයේ වර්ථමානයේ වගේ රෙදි මිලදීගන්න පුළුන් ස්ථාන හැමතැනම තිබුනේ නැහැ ඒ වගේම රජයට අයත් රෙදි කර්මාන්ත ශාලා හරහා ශ්‍රී-ලංකාව තුලම මෙම රෙදි නිශ්පාදනය කිරීමේ හැකියාවක් පැවතුනා. එමනිසා ඒ වෙනකොට පැවති වාතාවරණයට අනුව මෙසේ රජය විසින් රෙදි ලබා දීමට කටයුතු කිරීම පිළිබඳ ගැටළුවක් පැවතුනේ නැහැ.

නමුත් වර්ථමානය වනවිට තත්වය සැළකියයුතු ලෙස වෙනස්වෙලා තියෙනවා. මේවනවිට ශ්‍රී-ලංකා රජයට අයත් කර්මාන්තශාලා හරහා රෙදි නිශ්පාදනයක් සිදුවන්නේ නැහැ. දැනට බෙදන රෙදි ලබාදෙන්නේ ටෙන්ඩර් කැඳවීම මඟින් තොරාගන්නා පෞද්ගලික සැපයුම්කරුවෙකු හරහා. ඒ වගේම රෙදි පිළි ම්ලදීගැනීම ඒ වකවානුවේ තරම් අපහසු නැහැ. ඕනෑම නගරයක ඇති රෙදි පිළි සාපුපුවක් හරහා රෙදි මිළදීගැනීමේ හැකියාවක් මේ වනවිට පවතිනවා.

ඒ වගේම ලංකාව තුල පවතින රෙගුලාසි යටතේ මෙසේ රෙදි ලබා දීමේදී මේ දක්වා සියළුම අවස්ථාවන්හිදී නොයෙකුත් ආකාරයේ අක්‍රමිකතා ඇතිවූ බව නොරහසක්. අක්‍රමිකතා සිදුවීමට නොහැකිවන ආකාරයට පවතින හිඩැසි වැසීමට කටයුතු කළයුතුයයි යමෙකු තර්කකරනු ඇති. නමුත් ශ්‍රී-ලංකාවේ මෙතෙක් පැවති ශ්‍රී-ලංකාව තුල මුල්බැසගෙන ඇති ක්‍රියාකලාපයන් එක්ක මේ කියන අක්‍රමිකතා මඟහරවාගැනීමට කටයුතු කිරීම එතරම් ප්‍රායෝගික නැහැ. 

එම හේතුව නිසා තවදුරටත් පාසල් නිල ඇඳුම් ලබාදීමේ දී රෙදි වශයෙන් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් වෙන්නේ නැහැ. එමෙන්ම මෙතෙක් පැවති ක්‍රියාවලිය තුල බොහොමයක් දෙනෙක් නොදකින ලද පැතිකඩක්ද තියෙනවා. පවතින විවෘත ආර්ථික ක්‍රමය යටතේ හා පවතින වානිජ රෙගුලාසි යටතේ තනි සමාගමක් සඳහා මෙවැනි අති විශාල ටෙන්ඩරයක් ලබාදීම තුල එම සමාගමට රෙදි ආනයන ක්ෂේස්ත්‍රය තුල ඒකාධිකාරයක් ස්ථාපනය කරගැනීමට පහසුවෙන් හැකියාව ලැබීම. 

ලෝකයේ බොහෝ රටවල එක් සමාගමකට එක් ක්ෂේස්ත්‍රයක් තුල ඒකාධිකාරයක් ගොඩනඟාගැනීම අපහසු කිරීම සඳහා නීති රීත් සම්පාදනය කරලා තියෙන නමුත් මෙතෙක් ශ්‍රී-ලංකාව තුල ඒ ආකාරයට නීති රීති සම්පාදනය කරලා නැහැ. ඒ නිසා ලංකාව තුල මෙවැනි ටෙන්ඩරයක් ලබාගන්නා සමාගමකට තම ක්ෂේස්ත්‍රය ඇතුලේ අනෙක් සමාගම් වලට විශාල බලපෑමක් කිරීමේ හැකියාවල් තිබෙනවා. ඒ අනුව මේ ආකාරයට ඒකාධිකාරයක් ගොඩනඟාගානීම තුල ඔවුන්ට වෙළඳපොල තමාට රිසි ආකාරයට පාලනය කිරීමටත් අනෙකුත් තරඟකරුවන්ට වෙළඳපොලට ඇතුළු වීම අවහිරකිරීමටත් පහුසුවෙන් පුළුවන්කම ලැබෙනවා. ඇයි ඒකට විරුද්ධව නීති හදන්න බැරිද කියන තර්කය ගොඩක් දෙනෙකුට නඟන්න පුළුවන් හැබැයි ලංකාවේ පවතින දේශපාලන සංස්කෘතිය යටතේ එහෙම නීති සම්පාදනය කරන්න උත්සාහකරන එක කොච්චර සාර්ථක වෙයි ද කියන එක සම්බන්ධයෙන් ගැටළු තියෙනවා.

සමහර දේශපාලඥයන් පවා එල්ල කරන චෝදනාවක් වන්නේ සමහර බේබදු දෙමාපියන් මෙසේ ලැබෙන වවුචර් මුදල්කොට ඒ මුදල් තමාගේ පෞද්ගලික කටයුතු සඳහා භාවිතාකරනු ඇති බව. දැනට ලැබෙන පාසල් රෙදි මිලදීගැනීම සඳහා වෙනම වෙළඳපොලක් නිර්මාණය වී ඇති බව මෙසේ පොළවේ පය නොගසා ජීවත්වන දේශපාලඥයින් නොදන්නා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

යමක් සිදුකරන ක්‍රමය සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් උද්ගතව ඇති විට අප සියළු දෙනා බොහෝවිට පුරුදුව ඉන්නේ එ් සඳහා පැලැස්තර විසඳුමක් යොදලා එම ගැටළුව මඟහරවා ගැනීමට උත්සාහ කිරීමට. නමුත් එම ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත්කරලා අවශ්‍යතාවයට ගැලපෙන නව ක්‍රමයක් ස්ථාපිතකරවීම කාලයෙන් කාලයට සිදුකළ යුතු අවශ්‍යතාවයක් බව අවබෝධකරගැනීම ඉදිරියට යාමට බලාපොරොතුත්වන රටක් අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්.

තම රටේ පුරවැසියන්ගේ ආරක්ෂාවේ වගකීමෙන් පාලකයන්ට මිදිය නොහැක

පසුගිය වසරේ රිසානා සම්බන්ද සිදුවීම ශ්‍රී-ලංකාව තුල විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුනා. එම සිද්ධියෙන් අනතුරුව මේ වනවිට තවත් ශ්‍රී-ලාංකික කාන්තාවක් සෞදි අරාබියේ පවතින අමානුෂික නීතියේ ග්‍රහණයට හසුව මරණ දඬුවම නියමවී සිටී.

රිසානාට නියම වී තිබුනේ හිසගසා දැමීමෙන් මරණයට පතිකිරීමට වුවත් මෙම කාන්තාවට ඇයව හිස පමණක් පොලම මතුපිටට සිටින සේ වලලා ගල් ගැසීමෙන් මරා දැමීමට නියමිතව තිබේ. මෙම දඬුවම අතිශය අමානුශික බව කියන්නට කරුණු කාරනා අවශ්‍ය නොවේ. ඇය මෙම දඬුවමට මුහුනපා සිටින්නේ සෞදි අරාබියේ දී තවත් ශ්‍රී-ලාංකික තරුණයෙකු සමඟ අනියම් සබඳතාවක් පැවැති වීමේ වරදකටයි. ඇය කළ වරදට විශේෂයෙන්ම එම වරදට සම්බන්ධව සිටින්නේ ශ්‍රී-ලාංකිකයෙකු වී ඇති අවස්ථාවක මෙවැනි දඬුවමක් ලබාදීමට සෞදි රජය කටයුතු කිරීම අතිශයින්ම පිලිකුල් සහගත ක්‍රියාවකි.

මෙහි දැක්වෙන්නේ සවුදි අරාබියේ බලපැවැත්වෙන නීතියත් ඩෑෂ් නැතහොත් අයිසිස් ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක කරණ නීතියත් අතර සන්සන්දනයකි. මෙම නීතීන් දෙක අතර පැහැදිළි වෙනසක් දක්නට නොලැබේ.
අයිසිස් ත්‍රස්තවාදීන් විසින් ක්‍රියාත්මක කරන නීතිය අනුමත නොකරනවා සේම එයට සම්පූර්ණයෙන්ම සමාන සෞදි අරාබියේ ක්‍රිත්මක වන නීතියද අනුමත කිරීමට රජයට හෝ වෙනත් කිසිම ශිෂ්ඨයයි සම්මත මනුශ්‍යයෙකුට ඇතැයි මා පෞද්ගලිකව නොසිතමි. එමෙන්ම සෞදි ආරාබියතුල සේවකයන්ට සලකනු ලබන ආකාරය සම්බන්ධයෙන් ප්‍රභල චෝදනා ඇති අතර එම තත්වයේ සාධනීය වර්ධනයක් සිදුවන බවක් ද මේවනවිට පෙනෙන්නට නැත.

එමෙන්ම මෙසේ පවතිනා නීති රීතීන් සෞදි වැසියන්ට එක් ආකාරයකටත් අනෙකුත් රටවල සිට පැමිණෙන සේවකයන්ට තවත් ආකාරයකටත් බල පැවැත්වෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබේ.

කුරාණයේ සඳහන් වූ නිසා වේවා, කාලාන්තරයක් තිස්සේ පැවත ආ නිසා වේවා මෙවැනි අමානුශික නීතියක් සහ සංස්කෘතියක් පවතින රටක් සමඟ ගණුදෙනු කිරීමේ දී තම පුරවැසියන්ට ලැබියයුතු උපරිම ආරක්ෂාව ලබාගැනීමට කටයුතු කිරීම රජයේ වගකීම වේ.

Monday, November 16, 2015

මෛත්‍රී සෝභිත හිමිට වූ පොරොන්දු ඉටුකරයි ද?



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ වත්මන් මැතිවරණ ක්‍රමය වෙනස්කිරීම. මේවා අපට පසුගිය දශක කිහිපය පුරාවටම දේශපාලන වේදිකාවන්තුල දැඩිව කතාබහට ලක්වූ මාතෘකාවක්. පසුගිය දශක දෙක පුරාවට පත්වූ ජනාධිපතිවරුන් තිදෙනෙකු විසින් මෙම පොරොන්දු දෙක තමා බලයට පත්වීමට ප්‍රථම ජනතාව වෙත ලබාදුන් නමුත් තමාගේ අතට ජනාධිපති තනතුර හිමිවීමෙන් අනතුරුව මේ දෙකෙන් එකක් හෝ ඉටුකිරීමට ඔවුන් කිසිවෙකුත් කිසිඳු අවස්ථාවක කටයුතු කලේ නැත.

පලමුවරට මෙම පොරොන්දුව ලබාදුන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමා ජනාධිපතිවරණයට පත්වීමෙන් අනතුරුව තමා එම පොරොන්දුව ලබාදුන් බව අමතක කළාය. මෙසේ බලයට පැමිණි ජනාධිපතිවරු තමා ලබාදුන් පොරොන්දුව අමතක කරන්නට පමණක් නොව එයට පටහැනිව යමින් විධායක ජනාදිපති ධූරයට පත්වීමට තිබූ අවස්ථා දෙකක සීමාව ඉවත්කරගැනීම පවා කටයුතු කළහ.

මේ සඳහා පලමු උත්සාහය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් දරණ ලද අතර එය සාර්ථකකරගැනීමට ඇයට හැකියාවක් ලැබුනේ නැත. නමුත් 2010 සැප්තැම්බර් 9වන දින මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මතකරගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් විය.

මේ ආකාරයට යම් ජනාධිපතිවරුන් විධායක බලතල වැඩිකරගත්තා සේම 2001 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සිය බලතල අඩුකරගනිමින් 17වන සංශෝධනය සම්මතකරගැනීමට සිදුවූයේ එවකට පැවැති දේශපාලන පසුබිමේත් ජනතා විමුක්ති පෙරමුණේත් දැඩි බලපෑමට හසුවීම හේතුකොට ගෙනයි. එමෙන්ම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම වසරේ දී 19වන සංශෝධනය හරහා සිය බලතල යම්කිසි ප්‍රමාණයකට අඩුකරගැනීමට කටයුතු කළේය.

නමුත් තමා ජනතාව වෙත ලබාදුන් පොරොන්දුව වන විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසිකිරීම මෙම දේශපාලඥයන් කිසිවෙකුටත් සිදුකිරීමට හැකියාවක් ලැබුනේ නැත.

එමෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන් තිදෙනාම දැනට පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් කරන බවට ලබාදුන් පොරොන්දුවද ඉටුකිරීමට කටයුතු කොට නැත.

මේ වෙනස්කම සිදුකිරීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සාහ කළ නමුත් එම කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ අතර එකඟතාවයකට පැමිණිමට කල්ගතවීමත් පැවැති දේශපාලන වාතාවරණයත් හේතුකොට ගෙන එම පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරවා හැරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවිය.

මේ කරුණු කාරනා මේ ආකාරයෙන් පැවසීමට හේතුව පසුගිය දා මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහනෝතස්වයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා සෝභිත හිමියන් බලා පොරොත්තු වූ පරිදි විධායක ජනාධිපති ධූරය අහෝසිකරන බවටත් එමෙන්ම වර්ථමානයේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස්කිරීමට කටයුතු කරන බවටත් නැවත වතාවක් පොරොන්දු වීමයි.

ජනතාව බහුතරයක් මේ වෙනස්කම් දෙක ශ්‍රී-ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල සිදුවිය යුතු බව විශ්වාසකරන නමුත්, මේ සම්බන්ධයෙන් කෙරෙන කතාබහ ඉතාමත් අඩුවීම තුල පොදු වශයෙන් දේශපාලඥයන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාව තුල ඇති විශ්වාසය සැලකිය යුතු අයුරින් පිරිහී ඇති බවක් පෙනීයයි.

නමුත් මෙහිදී බොහෝ දෙනා අමතක කරන කරුනු දෙකක් ඇත. එනම් මෙතෙක් පත් වූ ජනාධිපතිවරුන් අතරින් තමාගේ බලය ස්වකැමැත්තෙන් යම් ප්‍රමාණයකට හෝ අඩුකිරීමට කටයුතු කළේ වත්මන් ජනාධිපතිවරයා බවත් එමෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක උත්සාහයක් හෝ ගත්තේ මේ ජනාධිපතිවරයා පමණක් වීමත් යන කරුණු දෙකයි.

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා තම පොරොන්දු ඉටුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පත්වූ ජනාධිපතිවරුන්ට වඩා වැඩි සැලකිල්ලක් දක්වා ඇති බව අවිවාදයෙන් පිලිගැනීමට සිදුවේ. නමුත් එයින් අනතුරුව මේ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගැනීම නිසා ජනතාව යම් තරමක අවිනිශ්චිත තාවයකින් පසුවන බවත් පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත වතාවක් පැවැති ජනප්‍රසාදය දිනාගන්නට නම් මෙම ලබාදුන් පොරොන්දු කඩිනමින් ඉටුකිරීම කෙරෙහි අවධානය යොමුකළයුතුව ඇත.

Thursday, November 12, 2015

ඇවන්ගාඩ් හුටපටයේ ඇතුලාන්තය හා සිවිල් සංවිධාන වල දේශපාලන මැදිහත් වීම



පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමට එල්ල වූ ප්‍රභල චෝදනාවන් අතර ඇවන්න්ගාඩ් සමාගම සම්බන්ධයෙන් වූ චෝදනා ප්‍රධාන තැනක් ගනී. දේශපාලන වේදිකාව තුල ඇවන්ගාඩ් උනුසුම් මාතෘකාවක් වූ අතරම ඒ සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරය එවකට විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්විය.

ජනාධිපතිවරණය අවසන් වී නව රජය පත්වීමෙන් අනතුරුව ජනවාරි මස 18 වන ඉරිදා ඇවන්ගාඩ් සමාගමට අයත් මහනුවර නැමැති නැව ගැළුවරායේ දී අත්අඩංගුවට ගන්නේ කරුණු මේ ආකාරයෙන් පවතින අතරතුරයි. එහි දී එම නැවේ තිබි ස්වයංක්‍රීය ගිනි අවි 3,000කට අධික සංඛ්‍යාවක් සොයාගැනීමට පොලිසිය සමත් විය. මේවායින් බහුතරය ලියාපදිංචි නොකල අවි බවට ද එම අවස්ථාවේ කරුණු ප්‍රකාශ විය.

මෙම නෞකාව ඇවන්ගාඩ් සමාගමට අයත් මහනුවර නැමැති පාවෙන අවිගබඩාව බවට පසුව අනාවරණය කරගන්නා ලදී.

ඔක්තොබර් මස 9 වනදා ඇවන්ගාඩ් සමාගමට අයත් තවත් මෙවැනිම වූ නෞකාවක් ගාළුවරාය ආසන්නයේ දී නාවික හමුදාව බාරයට පත්වන අතර එම නෞකාවේ තිබී ස්වයංක්‍රීය ගිනි අවි 810ක් සොයාගැනීමට නාවික හමුදාව සමත් විය.

ඇවන්ගාඩ් මාතෘකාව නැවතවතාවක් කරළියට පැමිනෙන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන විසින් පාර්ලිමේන්තුවේ සිදුකරන ලද ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි. මෙහිදී ඔහු ප්‍රකාශ කළේ ඇවන්ගාඩ් සමාගම විසින් කිසිඳු නීති විරෝධී කටයුත්තක් සිදුකොට නැති බවත් පොලීසිය විසින් මහනුවර නෞකාව අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත්තේ ලකුණ දමාගැනීමේ අරමුණින් බවත්ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ ඇවන්ගාඩ් සමාගම නිසිඳු වරදක් කර නොමැති බවත්, මේ සම්බන්ධයෙන් සහ තවත් චොදනා ගණනාවක් එල්ලවී ඇති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට තමා කිසි ලෙසකින්වත් ඉඩ නොතබව බවත්ය.

ශ්‍රී-ලාංකික රජයේ නීති පද්දතිය සම්බන්ධයෙන් වගකිවයුතු අමාත්‍යවරුන් දෙදෙනා විසින් මේ ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුල ගැටළු ගණනාවක් පැනනැගී ඇත. මේ අතරිනුත් ප්‍රධානම ගැටළුව වන්නේ දැනට පරීක්ෂන කටයුතු අවසන්ව නැති කටයුතුතක් සම්බන්ධයෙන් එම පරීක්ෂන කටයුතු භාර ආයතනයන් සහ නීතිය පසිඳලීම සම්බන්ධ ආයතනයන් භාර අමාත්‍යවරුන් දෙදෙනා මෙම කරුණ සම්බන්ධයෙන් මෙවැනි අදහසක් දැරීමයි.

මෙම අවස්ථාවේ බැඳියා පිළිගැටුමක්(Conflict of interest) ඇති වීම නොවැළැක්විය හැකි සිදුවීමකි. එමෙන්ම ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ ගැටළුවේ දී ඇවන්ගාඩ් සමාගමට නීති උපදෙස් සපයන්නේ තිලක් මාරපනගේ සොහොයුරාවන ගාමිණී මාරපනට අයත් නීතීඥ සමාගම වීම තුලද මේ ආකාරයේ බැඳියා පිළිගැටුමක් ඇතිවීමට විශාල ඉඩකඩක් පවතී. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ දී තිලක් මාරපන විසින් ඇවන්ගාඩ් හැඳීන්වීමට යෙදුන මාගේ සේවා දායකයා යන ආමන්ත්‍රණය තුලම මෙම කරුණ ගැබ්ව ඇති බව මාගේ පෞද්ගලික හැඟීමයි. 

එමෙන්ම ඊයේ දිනයේ පැවති ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් තීරණයකට එළැබීම සඳහා පැවති විශේෂ සාකච්ඡාවේ දී ගත් තීරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ද විශාල ගැටළුවක් පවතී.

මෙවැනි තත්වයක් තුල ඇවන්ගාඩ් සම්බන්ධ පරීක්ෂණ නිසි පරිදි සිදුවනවා ද නැති ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඕනෑම අයෙකු තුල ඇති වීම වැලැක්විය නොහැක.

සරලව පවසනවා නම් නීතීඥයෙකු හෝ වෙනයම් පුද්ගලයෙකු ඇවන්ගාඩ් ආයතනය නිවැරදිය යන්න සම්බන්ධයෙන් පෙනී සිටීම ගැටළුවක් නොවන නමුත් මෙම පරීඛ්ෂණ කටයුතු මෙහෙයවන ආයතන භාර අමාත්‍යවරුන් වන අධිකරණ අමාත්‍යවරයා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ඇවන්ගාඩ් ආයතනය නිවැරදිය යන්න වෙනුවෙන් පෙනී සිටීම ගැටළුකාරී තත්වයක් ඇතිකරන බව අමුතුවෙන් කියයුතු නොවේ.
මෙම ගැටළුවේ දී රටේ ජනතාව මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීලෙස කටයුතු කිරීමත් රජයට බලපෑම් එල්ල කිරීමත් එමෙන්ම රජය ජනතාවගේ හා සිවිල් සංවිධාන වල හඬට ඇහුම්කන් දීමත් පෙර පැවති තත්වය සමඟ සසඳන විට ඉතාම හොඳ ප්‍රවනතාවක් බව ද පැවසිය යුතුව ඇත.