Sunday, July 30, 2017

ත්‍රිකුණාමලේ තෙල්ටැංකි, ලෝකයේ බලශකිති ප්‍රවනතා සහ අපි

පහුගිය සතියේ ලංකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුනේ ත්‍රිකුණාමාළයේ පවතින තෙල් ගබඩා සංකීර්ණය ඉන්දියාවට බදුදීම. මේ කියන තෙල් ගබඩාකිරීමේ සංකීර්ණය ඉදිවෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමය තුළ. 1924 දී ඉදිකිරීම් ආරම්භකරන මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් 1930 දශකයේ අවසන් භාගය වෙද්දී අවසන් වෙනවා. බ්‍රිතාන්‍යයේ බලාපොරොත්තුව වෙන්නේ ත්‍රිකුණාමල වරාය පළවෙනි ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යයේ නැගෙනහිර යටත්විජිත ප්‍රදේශ තුළ ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානය බවට පත්කිරීම.



ආරම්භයේදී ටැංකි 101කින් සමන්විතවෙලා තිබුන මේ සංකීර්ණයේ තිබුණ ටැංකි වලින් එකක් දෙවන ලෝකයුද්ධ සමයේ ජපන් ප්‍රහාරවලිනුත් තවත් එකක් 60 දශකයේ සිදුවූ ගුවන්යානා අනතුරකිනුත් විනාශයට විනාශයට පත්ව තිබේ. මේ වන විට ගබඩා සංකීර්ණයතුළ පවතින ටැංකි වලින් 15ක් භාවිතයට ගන්නා අතර ඉතිරිය භාවිතයට ගැනීමට ප්‍රථම ප්‍රතිසංස්කරණය කළයුතුව ඇත. මින් එක් ටැංකියක ධාරිතාවය ආසන්නවශයෙන් බැරල් 77,000 ක් වේ. ඒ අනුව මෙම සංකීර්ණය සම්පූර්ණයෙන් පිළිසකරකළහොත් ඒ තුළ ගබඩාකළහැකි ඛනිජතෙල් ප්‍රමාණය බැරල් 7,623,000කි.

පහුගිය කාලය පුරාවට ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් පරිභෝජනය ශ්‍රීග්‍රෙයන් ඉහලයමින් පවතින නමුත් U.S. Energy Information Administration විසින් ඉදිරිපත්කර ඇති සංඛයාලේඛන වලට අනුව වැඩිම පරිභෝජනයක් පෙන්වන 2012 වසරේ දී ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ඛනිජතෙල් පරිභෝජනය බැරල් 38,880,000ක් වේ. ඒ අනුව මේ ටැංකි 99 තුළ පමණක් ශ්‍රී ලංකාවට දින 71ක කාලයක් සඳහා අවශ්‍යකරන ඉන්ධන ගබඩාකර තබාගැනීමේ හැකියාවක් පවතී.

ඔෑනෑම රටක් හදිසි අවශ්‍යතාවයන් සඳහා යම් ඛනිජතෙල් සංචිතයක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය කරුණක් බව අමුතුවෙන් කිවයුතු නැති නමුත් එසේ පවත්වාගෙන යාමට හැකි සංචිතවල ප්‍රමාණය එම රටේ ආර්ථිකයට දරාගැනීමට හැකි ප්‍රමාණයේ එකක් වියයුතුය. දැනට ශ්‍රී ලංකාව සතු ඛනිජතෙල් ගබඩාකිරීමේ හැකියාව ප්‍රමාණවත් වන්නේ දින 45ක් සඳහා පමණි. යුරෝපා සංගමය සහ අන්තර්ජාතික බලශක්ති නියෝජිතායතනය තම සාමාජික රටවලට හදිසි අවශ්‍යතාවයකදි ප්‍රයෝජනය ගැනීම සඳහා පවත්වාගෙන යත යුතු යැයි නිර්දේශ කර ඇති ඛනිජතෙල් සංචිත ප්‍රමාණය වන්නේ දින 90ක කාලයක් සඳහා සෑහෙන ප්‍රමාණයකි.

කෙසේ වෙතත් මේ සංඛ්‍යාෙල්ඛන අනුව පැහැදිළිවෙන කරුණ වන්නේ මෙම තෙල් ටැංකි සංකීර්ණය භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් හෝ හැකියාවක් මේ දක්වා ශ්‍රී ලංකාවට නොමැති බවත් ඒ වගේම නුදුරු අනාගතයේ එවැනි අවශ්‍යතාවයක් ඇති නොවන බවත්.

එමෙන්ම මෙම සංකීර්ණයේ පවතින ටැංකි වලින් දැනට භාවිතාවන ටැංකි 15 හැරුණුවිට ඉතිරිය දීර්ඝ කාලයක් තිස්සේ භාවිතයට නොගැනීම සහ නිසි නඩත්තුවක් නොමැතිවීම හේතුවෙන් නැවත ප්‍රතිසංස්කරණය කිරීමකින් තොරව භාවිතයට ගැනීමට නොහැකි තත්වයක පවතී.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු පවසන තවත් කරුණක් වන්නේ ඉන්දියාවට මේ සංකීර්ණය බදු ගැනීම තුලින් ලාභ ඉපැයීමට හැකියාවක් පවතිනවා නම් ශ්‍රී ලංකාවට එසේ කළ නොහැකි වන්නේ කුමන හේතුවක් නිසාද යන්නයි. මෙම තෙල් ටැංකි නැවත පිලි සකර කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැහැ. මේ අවස්ථාවේ දී එවැනි පිරිවැයක් දැරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුද යන්න පිළිබඳවත් එමෙන්ම ඒ මුදල වියදම් කළහැකි වඩාත්ම ඵලදායී ක්‍රියාව එයද යන්නත් පිළිබඳව අවධානය යොමුකළයුතුයි. එමෙන්ම නැවත නවීකරණය කිරීමෙන් අනතුරුව ඒ හරහා ආදායම් ඉපැයීමට සහ අවශ්‍ය වෙළඳපොලක් සොයාගැනීමට හැකියාවක් ශ්‍රී ලංකාව සතුව පවතිනවාද යන්න කෙරෙහිත් අවධානය යොමුකළයුතුව ඇත.

දැනට මේ ආකාරයට තෙල් පිරිපහදුකර නැවත බෙදාහරින සිංගප්පූරුව මේ වනවිට මෙම ක්සේස්ත්‍රය තුළ දැඩි ස්ථාවරත්වයක් හිමිකරගෙන සිටීම තුළ ශ්‍රී ලංකාව වැනි රටකට එම වෙළඳපොල අත්පත්කරගැනීමට ඇති හැකියාව ඉතාම සුළු බව කිවයුතුව ඇත. ශ්‍රී ලංකාව සමඟ සංසන්ධනය කිරීමේදී තත්වය එසේ වුවත් ඉන්දියාව හා සම්බන්ධයෙන් මෙම තත්වය මීට වැඩිය හාත්පසින්ම වෙනස් ආකාරයක් ගනී. ලෝකයේ දෙවැනියට විශාලතම ජනගහනයට හා තෙවැනියට විශාලතම දළ දේශීය නිශ්පාදනයට (ක්‍රය ශක්ති සාමාණ්‍ය අනුව) හිමිකම් කියන ඉන්දියාවට සිංගප්පූරුවත් සමඟ තරඟ කිරීමේ හැකියාවක් පවතිනවා මෙන්ම ඉන්දියාවේ දේශීය වෙළඳපොළ තුළම මේ ක්‍රියාවලිය සඳහා විශාල ඉඩකඩක් පවතී.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත්වන තවත් තර්කයක් වන්නේ මේ ගණුදෙනුව හරහා ශ්‍රී ලංකාව තුළ තෙල් ගබඩාකරගැනීමේ ඒකාධිකාරිය ඉන්දියාව අතට පත්වන බවයි. නමුත් මේ වන විට ශ්‍රී ලංකාව තුල තෙල් ගබඩාකිරීම සඳහා භාවිතා වන්නේ මේවායින් ටැංකි 15ක් පමණක් වන අතර දැනට අනෙකුත් ප්‍රදේශවල පවතින පහසුකම් පවත්වාගෙන යාම සහ අවැසිනම් ඒවා වැඩිදියුනු කිරීමට හෝ පුළුල් කිරීමට මේ බදුදීම තුළින් බාධාවක් ඇති නොවේ. මෙය හුදෙක් අප විසින් භාවිතා නොකරන, එමෙන්ම නුදුරු අනාගතය තුළ භාවිතා කිරීමට අවශ්‍යතාවක් ඇති නොවන තෙල් ගබඩාකිරීමේ පහසුකමක් බදුදීමක් හැර අන් කිසිත් නොවේ.

ත්‍රිකුණාමලය තෙල් ගබඩාකිරීමේ සංකීර්ණය සම්බන්ධයෙන් මේ මොහොත වනවිට අපි සතුව පවතින තොරාගැනීම් දෙක බවට පත්වී ඇත්තේ දැනට පවතින වෙළඳපොළ තුළ ඇති තරඟයට මුහුණදීමට හැකි ආයතනයකට/රටකට මේ සංකීර්ණය බදුදීම හෝ එසේ නොමැතිනම් එය මෙතෙක් කළක් සිදුකළ ආකාරයටම නැවත වනයට අතහැර දැමීම වේ.

එමෙන්ම මේ සම්බන්ධව ඇති තවත් සාධකයක් වන්නේ මේ වනවිට ඇතිවෙමින් පවතින පාරිසරික ගැටළු හේතුවෙන් ඛනිජතෙල් භාවිතය සීමාකිරීම සඳහා ලෝකය පුරාවටම ඇතිවෙමින් පවතින නව ප්‍රවනතාවයයි. මේ ප්‍රවාහනය, විදුලිබලය නිපදවීම මෙන්ම කර්මාන්ත සඳහා ඛනිජතෙල් වෙනුවට සුළං, සූර්ය බලය, ජලවිදුලිය ඇතුලු අනෙකුත් පුනර්ජනනීය බලශක්තීන් යොදාගැනීම සම්බන්ධයෙන් විශාල පිබිදීමක් ලෝකය පුරාවටම ඇතිවෙමින් පවතින යුගයකි. ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, පමණක් නොව තෙල් නිශ්පාදනයේ දැවැන්තයින්වන කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉරානය ආදී රටවල් පවා මේ වනවිට සූර්ය ශක්තිය මඟින් විදුලිය නිපදවීම සම්බන්ධයෙන් අවධානය යොමුකර අවසන්. එමෙන්ම මේ වනවිට ලෝකයේ බලශකිත් පරිභෝජනයේ ප්‍රමුඛයන් වන ඇමෙරිකාව, චීනය සහ ඉන්දියාව මහා පරිමාණයේ සූර්ය ගොවිපළවල් සහ සුළන් ගොවිපළවල් ආරම්භකිරීමට මූලික පියවරගෙන අවසන්. ඇමෙරිකා එක්සත් ජනපදයේ Sandstone Energy 10X සහ චීනයේ Ordos මේ ආකාරයෙන් ඉදිකිරීමට යෝජිත සූර්ය බලාගාරවල ධාරිතාවය මෙගාවොට් 2,000ක් වන අතර දැනට ඉදිකිරීමට යෝජනාවී ඇති විශාලතම සුළං බලයෙන් ක්‍රියාත්මකවන විදුලි බලාගාර වන ඇමෙරිකා එක්සත් ජනපදයේ Titan Wind Project සහ ස්වීඩනයේ Markbygden Wind Farm වල ධාරිතාව පිලිවෙලින් මෙගාවොට් 5,000 සහ 4,000 වේ. SolarPower Europe Association ප්‍රකාශකරන ආකාරයට පසුගිය වසරතුළ පමණක් (2016) ලෝකයේ සූර්ය ශක්තියෙන් විදුලිය නිශ්පාදනය 50%කින් වර්ධණය වී තිබේ. එමෙන්ම ජලවිදුලිය සුළං බලය සහ භූ උෂ්නත්වය හරහා විදුලිය නිපදවීමේ ප්‍රමාණයද ලෝකය පුරාවට ශ්‍රීග්‍රලෙස වර්ධණයවෙමින් පවතී. ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති ඒජන්සියට අනුව පසුගිය වසර තුළ පමණක් ලෝකය තුළ පුනර්ජනනීය බලශක්ති මඟින් විදුලිය නිපදවීම ගිගා වොට් 161කින් වර්ධනය වී තිබේ.







මීට අමතරව ඛනිජතෙල් භාවිතාවන ප්‍රධනතම ක්ෂේස්ත්‍රයවන මොටර්රථ ක්ෂේස්ත්‍රය තුළත් විද්‍යුත් මොටර්රථ ශ්‍රීග්‍ර දියුණුවක් ලබමින් තිබෙනබවත් අමුතුවෙන් කීමට අවශ්‍ය නැහැ. පසුගිය වසරතුල පමණක් ලෝකය පුරාවට අළෙවිකරන ලද විද්‍යුත් මොටර්රථ ප්‍රමාණය 750,000කට අධිකවේ. මෙය සමස්ථ මොටර්රථ අළෙවිකරණයෙන් 1%ක් පමණ වන නමුත් වසර 6ක් වැනි සුළු කාළයක් තුළ සමස්ථ මෝටර්රථ අළෙවිකරණයෙන් 1%ක ප්‍රමාණයක් අත්පත්කරගැනීමට සමත්වීම විශාල වර්ධණයකි. 2015 වසරේදී ලෝකයේ ප්‍රධානතම විද්‍යුත් මෝටර්රථ නිශ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඉයොන් මස්ක් විසින් ඔවුන් සතු සියළු පේටන්ට් බලපත්‍රවල අයිතිය නිදහස් කිරීමත් මෙම ක්ෂේස්ත්‍රෙය් දියුණුව කඩිනම් වීමට බලපාන ලදී. එමෙන්ම දහවල් කාලයේ දී සූර්යශක්තිය මඟින් නිපදවන විදුලිය වඩාත් කාර්යක්ෂමලෙස ගබඩාකරගැනීමට හැකියාව ටෙස්ලා පවර්වෝල් (Tesla Powerwall) නැමැති බැටරි පද්දතියක් නිර්මාණය කිරීමට ඔහු සමත්ව ඇති අතර ඊට අමතරව ඔහු විසින් නිර්මාණය කරනලද තවත් සමාගමක්වන සෝලාර්සිටි සමාගම විසින් ගෘහාශ්‍රිතව නිපදවන විදුලිය වඩාත් කාර්යක්ෂමව සහා ආරක්ෂාකාරීලෙස ප්‍රධාන විදුලි ධාරාවට (Main Electrical Grid) එකතු කිරීම සම්බන්ධයෙන් අත්හදාබැලීම් රාශියක් සිදුකරමින් සිටී. තවද සෙවිලි තහඩු ආකාරයෙන් නිර්මාණයකර ඇති සෝලාර් රූෆ් නැමැති වඩාත් කාර්යක්ෂම (22%-24% ක කාර්යක්ෂමතාවයකින් යුතු) සූර්යකෝෂ නිර්මාණය කිරීමට සමත්ව තිබේ.







සම්පූර්ණයෙන්ම ඉන්ධන මත යැපෙන නාවික ප්‍රවාහන ක්ෂේස්ත්‍රය තුල පවා ඛනිජතෙල් භාවිතයෙන් ඉවත් වී විකල්ප බලශක්තියක් වශයෙන් පරමාණුක බලශක්තිය යොදාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුවෙමින් පවතී. මීට අමතරව මෙම ක්සේස්ත්‍රය තුළ වඩාත් කාර්යක්ෂම සහ අඩු ඉන්ධන පිරිවැයකින් යුතු ඇන්ජින් නිශ්පාදනය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුවෙමින් පවතී.

නමුත් මේ සම්බන්ධයෙන් අශුභවාදීව දකින බොහොමයක් දෙනෙකුගේ අදහස වන්නේ මේ කියන වෙනස්කම් නුදුරු අනාගතය තුළ සිදුවීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත බවයි. නමුත් පසුගිය දශක දෙක තුන තුළ ලෝකයේ සිදුවූ වෙනස්කම් දෙස බැලීමේදී මේ වෙනස්කම් සිදුවීමට එතරම් කාලයක් ගත නොවනු ඇති බව වටහාගැනීම එතරම් අපහසු කරුණක් නොවේ.

කෙසේ වෙතත් කරුණු කාරනා සියල්ල දෙස බැලීමේ දී මේ වනවිට ලෝකයේ අත්‍යවශ්‍යම භාණ්ඩය බවට පත්ව ඇති ෆොසිල ඉන්ධන එම ස්ථානයෙන් ඉවත්වීමට එතරම් කාලයක් ගත නොවනු ඇති බවත්, එවැනි තත්වයක් යටතේ මෙම තෙල් ගබඩාකිරීමේ සංකීර්ණයට වර්ථමානයේ පවතින වැදගත්කම අහෝසිවීයනු ඇති බවත් පැහැදිළිව පෙනෙන්නට තිබේ.

Tuesday, February 21, 2017

මුස්ලිම් කාන්තාවන්ට සමාන මිනිසුන් ලෙස සැළකුම් ලැබීමට ඇති අයිතිය අහිමි කරන මුස්ල්ම් විවාහ සහ දික්කසාද පනත






ශ්‍රී-ලංකාවේ සාමාන්‍ය නීතිය සහ උඩරට නීතිය යටතේ විවාහ වීමේ අවම වයස අවුරුදු 18ක් වන නමුත් මුස්ලිම් නීතියට අනුව එය එසේ නොවේ. 1951 දී සම්මත කරන ලද මුස්ලිම් විව්වාහ සහ දික්කසාද පනතට අනුව මුස්ලිම් කාන්තාවක් විවාහ කරගැනීමට හැකි අවම වයස අවුරුදු 12කි. එමෙන්ම යම් හෙයකින් දැරිය වයස අවුරුදු 12ට අඩු නම් ක්වාසිවරයා වෙත පෙර දැනුම් දීමකින් සහ අනුමැතිය ලබාගැනීමකින් අනතුරුව විවාහ කරගැනීමට මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත අවස්ථාව ලබා දී තිබේ.

එමෙන්ම සාමාන්‍ය විවාහයක දී ඒ සඳහා අනුමැතිය ලබාදීමේ නෛතික බලය පවතින්නේ විවාහ වන කාන්තාව සතුව වන නමුත් මුස්ලිම් විවාහ නීතිය යටතේ සිදුකරන විවාහයක දී විවාහය සඳහා අනුමැතිය දීමට විවාහ වන කාන්තාවට හැකියාවක් නැත. එම අනුමැතිය ලබාදීමේ බලය හිමිවන්නේ එම කාන්තාවගේ පියාට හෝ භාරකරු හටයි. විවාහ වන කාන්තාව ක්වාසි හට තමාගේ කැමැත්ත ප්‍රකාශ කළ යුතුය.

ශ්‍රී ලංකාව තුළ ළමා විවාහ සිදුවීම ඉතාම අවම මට්ටමක බවතින බව බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන නමුත් සත්‍ය වශයෙන්ම මුස්ලිම් නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාලේඛන වලට අනුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවක් විවාහ දිවියට පත්වීමේ වයසේ සාමාන්‍ය අවුරුදු 14-17 ත් අතර වේ. කොළඹ නගරය තුළ පවා මුස්ලිම් නීතිය යටතේ විවාහ වීමේ වයසේ සාමාන්‍ය 15-17 ත් අතර වේ.

ගැටලුව පවතින්නේ වයස අවුරුදු 14ක දැරියකට එවැනි බැරෑරුම් තීරණයක් ගැනීමට හැකියාවක් පවතිනවාද යන්න සම්බන්දයෙනි. ඉතාමත් ගතානුගතික පීතෘමූලික සමාජයක් වන මුස්ලිම් සමාජය තුළ පමණක් නොවේ අනෙකුත් ශ්‍රී ලාංකික සමාජය තුළ ඇති සමාජ සංසකෘතියට අනුව විවාහය යනු ඉතාමත් බරපතළ තීරණයකි. බොහෝ විට මේ ආකාරයේ ළමා විවාහ සිදුවන හේතු දෙකකි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඔවුන්ගේ පවුල් සංස්ථාව තුළ පවතින දැඩි සංස්කෘතික පසුබිම හේතුවෙනුත් ඉතිරිය ආර්ථික දුෂ්කරතා, රැකවරණය සහ ආරක්ෂාව අපේක්ෂාවෙනුත් මෙලෙස අඩු වයසින් විවාහ දිවියට ඇතුළු වෙති. මෙවැනි පසුබිමක් යටතේ තමුන්ගේ දෙමවුපියන් විසින් සිදුකරන යෝජනාවකට එකඟ නොවීම දැරියකට පහසු කටයුත්තක් නොවේ. ප්‍රායෝගික තත්ව යටතේ දී මේ ආකාරයෙන් සිදුවන ළමා විවාහ වලින් සඳහා විවාහ වන දැරියගේ අනුමැතියක් අවශ්‍යවන්නේ නැත. යම් හෙයකින් මෙසේ යම් කිසි දැරියක් ඇයගේ අනුමැතියකින් තොරව විවාහය දිවියට ඇතුළත් කරගත් බවට චෝදනා ඔප්පු කළ ද ඒ සඳහා නයම කළහැකි දඬුවම වන්නේ රු. 100කට නොවැඩි දඩයක් හෝ මාස 6කට නොවැඩි සිරදඬුවමක් හෝ මේ දෙකම හෝ වේ. එමෙන්ම ගාතානුගතික අදහස් වලින් පිරි පිරිමින්ගෙන් පමනක් සමන්විත සහ අර්ධ අධිකරණමය ආයතනයක් වන ක්වාසි අධිකරණයක් දැරියගේ දෘෂ්ඨි කෝනයෙන් මෙවැනි ගැටළුවක් දෙස බලනු ඇතැයි සිතීමට නොහැක.

මෙසේ අඩු වයසින් විවාහ ජීවිතයට පත්වීම තුළන් පැන නඟින ගැටළු විශාල ප්‍රමාණයකි. මේ ආකාරයෙන් අඩුවයසින් විවාහ දිවියට පත්වන දැරියන් බහුතරයකගේ අධ්‍යාපන කටයුතු ඒත් සමඟ ඇනහිටින අතර හිෂීමා හමීන් සහ හසානා ඉසඩින් විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය යටතේ සිදුවන ළමා වීවාහ සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ මේ ආකාරයට අඩු වයසින් විවාහ දිවියට පත්වන බහුතරයක් දැරියන්ගේ අධ්‍යාපන මට්ටම 5වන ශ්‍රේණියට පමණක් සීමා වී ඇති බවයි. එමෙන්ම මේ ආකාරයෙන් සැමියා සහ බිරිඳ අතර අනයෝන්‍ය අවබෝධයකින් තොරව සිදුවන විවාහ අති බහුතරයක් ගැටුම් කාරී ඒවා වන අතර ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමට නොහැකියාව සහ ගෙදර දොර වැඩකටයුතු සිදුකිරීමට ඇති නොහැකියාව පදනම් කරගනිමින් සැමියා විසින් දික් කසාදය සඳහා ඇයැදුම් කිරීම සුලභ තත්වයකි. නිසි අධ්‍යාපනයක් නොලැබූ දැඩි සංස්කෘතික පසුබිමක් යටතේ ජීවත් වූ කාන්තාවකට සැමියාගෙන් ඉවත් වී තනිවම සිය ජීවිකාව පවත්වාගෙන යාම පහසු කරුණක් නොවේ. පවතින අඩු අධ්‍යාපන මට්ටම හේතුවෙන් බොහෝ විට මෙවැනි කාන්තාවකට නිසි රැකියාවක් සොයාගැනීමට අපහසු වනවා මෙන්ම එම කාන්තාවන් මුස්ලිම් සමාජය තුළ කොන්වීමකට ද ලක්වේ. මේ හේතූන් නිසා මේ ආකාරයට දික් කසාද වන කාන්තාවන් මුහුණදෙන්නේ අතිශය සෝචනීය තත්වයකටයි. තමාට තමාව නඩුත්තු කරගැනීමට නොහැකි වීමත්, ස්වාධීන දිවි පෙවතකට හුරු නොවී සිටීමත් නිසා බොහොමයක් කාන්තාවන් සියළු දුක් කම්කටොළු විඳගෙන සැමියා සමඟ ජීවත් වීමට තීරණය කරති.

තවද වයස අවුරුදු 16කට අඩු දැරියක් සමඟ ඇයගේ කැමැත්ත ඇතිව වුවද ලිංගිකව එක්වීම දණ්ඩනීති සංග්‍රහයේ 363 ඊ වගන්තියට අනුව වරදක් ලෙස ප්‍රකාශ කර ඇති නමුත් 1995 වසරේ සිදුකරන ලද සංඝෝධනය හරහා එම දැරිය වසය අවුරුදු 12ට වැඩිනම්, අදාල පුද්ගලයාගේ නෛතික භාර්යාව නම් සහ අදාල පුද්ගලයාගෙන් නීත්‍යානුකූලව වෙන්වී නොමැති නම් ඇයත් සමඟ ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස නොසැළකෙන බවට නව අර්ථ කථනයක් ලබාදී තිබේ. මේ අනුව යම් කිසි පුද්ගලයෙකු වයස අවුරුදු 12ක දැරියක් මුස්ලිම් විවාහ නීතියට අනුව සරනපාවා ගතහොත් ඇයත් සමඟ ලිංගිකව එකතු වීම සඳහා නෛතිකව බාධාවක් නොමැති වන තැනට කරුණු සැළසී තිබේ.

පවතින මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මේ ආකාරයේ සාමාජීය ගැටළු ගණනාවක් ඇතිකරන පනතක් බවට පත්ව ඇති නමුත් ආගමික හා සංස්කෘතික බලපෑම හේතුවෙන් එය වර්ථමානයට වඩාත් උචිත ලෙස සංශෝධනය කිරීමේ වගකීමෙන් මෙතෙක් බලයේ සිටි සියළුම දේශපාලඥයින් කත් අරිමින් සිටිති.

Illustration: Child Marriage by Asuf Hanuka

Monday, November 7, 2016

රාජ්‍ය පාලන ඕමි පිටියේ තුරුම්පු තවදුරටත් රණවිරුවා නොවේ. අද අප දුටුවේ ඒ යථාර්ථයයි.




යුද්ධය යනු කිසිඳු අවස්ථාවක සාමාන්‍ය ජනතාව සතු ප්‍රශ්න විසඳීම සඳහා යොදාගන්නා ක්‍රියාමාර්ගයක් නොවේ. යුද්ධය සෑම විටකම පාලක පන්තිය සිය තමුන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා භාවිතා කරන ලද මෙවලමකි. ඊලාම් මෙහෙයුම, වෙනම රාජ්‍යක් ලබාගැනීමේ සටන, නිජභූමිය ආරක්ෂා කිරීමේ අරගලය, රට බේරාගැනීම, මානුශීය මෙහෙයුම, ජාතිය බේරාගැනීමේ මෙහෙයුම යනුවෙන් මොන ටොපි කොළයේ එතුවත් ඒ තුළින් සැමදා බැටකන්නේත් දුක් විඳින්නේත් සාමාන්‍ය ජනතාව මිස අන් කිසිවෙකුත් නොවේ. මින් කුමන පාර්ශවයක් ජයග්‍රහණය කලද ඒ ජයග්‍රහනය තුළින් යුද්ධය නිසා ඇතිවූ ගැටළු වලට විසඳුමක් ලැබෙනවා මිස කිසිඳු අවස්ථාවක යුද්ධයට පෙර පැවැති ඒ සඳහා හේතු වූ ගැටළු වලට විසඳුමක් ලබාදීමක් සිදු නොවේ. ශ්‍රී-ලංකාව තුළ වර්ථමානය තුළ පවතින තත්වයේ ද ඊට වඩා කිසිඳු වෙනසක් නැත.

මේ ඒ ගැන කතාකරන්නට අවස්ථාව නොවේ. යුද්ධය සඳහා සටන් බිමට පිවිසෙන්නේ සාමාන්‍ය ජනතාවගේ දරුවන් වන අතර උතුරේ වුවත් දකුණේ වුවත් ඒ සම්බන්ධයෙන් වෙනසක් ඇති බවක් නොපෙනේ. උතුරේ මෙම ගැටළුවට පන පෙවූ වෙල්වනායගම්ලාගේ, ප්‍රභාකරන්ලාගේ පුතුන් අවසානය දක්වාම යුද්ධ පෙරමුණට පැමිණියේ නැත. දකුනේද මෙම ගැටළුව ආරම්භ කළ බණ්ඩාරනායකලාගේ ගේ හෝ රාජපක්ෂලාගේ හෝ වෙනයම් නායකයෙකුගේ දරුවන් සටන් බිමට පැමිණියේ නැත. සටන් කරනවා වෙනුවට උන් කළේ තමුන්ට ලැබුන වරප්‍රසාද හරහා සාමාන්‍ය ජනතාව තවදුරටත් පාගා ගෙන සිටීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීම පමණකි. ඒ වෙනුවට උතුරේත් දකුනේත් ගලා ගියේ සාමාන්‍ය අම්මලාගේ තාත්තලාගේ දරුවන්ගේ රුධිරයයි.

උතුරේ වේවා දකුනේ වේවා සාමාන්‍ය මිනිසාගේ දරුවා යුද්ධය වෙනුවෙන් පාවිච්චි වුනේය. අත් පා නැතිකර ගත්තෝය සමහරෙකු ජීවිතයෙන් වන්දි ගෙව්වෝය. පාලකයෝද මේ සාමාන්‍ය ජනතාවගේ පුතුන් රට ජාතිය වෙනුවෙන් දිවි පිදුවන් ලෙස වර්ණනා කරමින්, විරු දින පවත්වමින් තමාගේ යුද්ධය ගෙනයාමට අවැසි සොල්දාදුවන් තව තවත් බඳවා ගැනීමට කටයුතු කළහ. එදා පාලකයාට සිය බලය ආරක්ෂා කරගැනීම සඳහා සොල්දාදුවා වැදගත් විය. එම නිසා ඔහුට හොඳින් සැළකීමටත්, අවශ්‍ය පහසුකම් ලබා දීමටත් කළ හැකි සියල්ල සිදු කළේය. අද වන විට යුද්ධය අවසන්ව ඇත. පාලයාට තමාගේ බලය ආරක්සා කරගැනීම සඳහා තවදුරටත් සොල්දාදුවා අවශය නැත. එම නිසා ඔහුට හොඳින් සැළකීම හෝ අවශය පහසුකම් ලබාදීම හෝ වර්ණනා කිරීම තවදුරටත් අවශය නොවන නැනට කරුණු යෙදී තිබේ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා යයි පවසන සිවිල් සංවිධාන මේ මොහොතේ දී සොල්දාදුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ මේ මොහොතේ රණවිරුවන් විකිණිමට ඉතා පහසු නිසා මිස අන් කිසිත් නිසා නොවේ. යුද්ධය නිමා වී වසර 8 ගතවී ඇති අතර ඉන් වසර 6ක් රටේ පාලනය ගෙන ගියේ අද මේ සෙබලුන් වෙනුවෙන් පෙනී සිටිනවා යයි පවසන කණ්ඩායමේ හිතේෂීන් වන නමුත් ඒ වසර 6 තුළ දී මෙම ගැටළුව නිරාකරණය නොකිරීම සම්බන්ධයෙන් කිසිඳු හඬක් නැගීමට මෙම පිරිස කටයුතු කළේ නැත. ඇත්ත වශයෙන්ම මෙවැනි ගැටළුවක් විසඳාගැනීමට අවශ්‍ය පසු බිම සැළසීමේ කිසිඳු අවශ්‍යතාවයක් ද මෙම සිවිල් සංවිධාන වලට නැත. එසේ වන්නේ තමාගේ පැවැත්ම පවතින්නේ මේ ආකාරයේ ගැටළු නොවිසඳී තවත් කාලයක් පුරාවට පවතිනා තෙක් පමණි.

මෙය ලංකාවට පමණක් වලංගු කාරණාවක් නොවේ. ඇමරිකා එක්සත් ජනපදයේ නිවසකට හිමිකම් නොකියන මිලියන ½කට ආසන්න ජනතාවගෙන් 8%ක් ඇමෙරිකානු හමුදාවේ සේවයේ නියුතු වූ පිද්ගලයන් වන අතර තවත් ඇමෙරිකානු හමුදාවේ සිටි මිලියන 1 ½ක පමණ පිරිසක් මේ නිවාස අහිමි යාචකයන්ගේ ගොඩට එකතුවීමේ අවධානමෙන් පසුවෙති. ඇමෙරිකානු දේශපාලන පිටිය තුළද ප්‍රධාන පක්ෂ දෙකම මේ ආකාරයටම රණවිරුවන් වෙනුවෙන් හෙළූ කිඹුල් කඳුළු ප්‍රමාණය අනන්ත වන නමුත් ඔවුන්ට ඇති ගැටළු විසදීම සඳහා ගෙන ඇති සාර්ථක ක්‍රියාමාර්ගයක් පෙනෙන්නට නොමැත. යම් හෙයකින් කොටි සංවිධානය ඊලමක් පිහිටවූවානම් ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් අති බහුතරයකටස මේ ඉරණමම අත්වන ආකාරය අපහට දක්නට ලැබෙන්නට ඉඩකඩ තිබුනි.

රාජ්‍ය පාලන ඕමි පිටියේ තුරුම්පු තවදුරටත් රණවිරුවා නොවේ. අද අප දුටුවේ ඒ යථාර්ථයයි.


ඡායාරූපය: සංඛ විදානගම

Sunday, November 6, 2016

මරපාලනයට නොදෙවනි යහපාලන මාධ්‍ය ආචාරධර්ම





පසු ගිය සතිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේදී තරුණයෙකු මියයාමේ සිදුවීම පදනම් කරගෙන ඔහුගේ දියණිය සම්බන්ධකරගනිමින් ඉතාම පහත් ආකාරයේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත්වනු දක්නට හැකිවිය. මේ සම්පූර්ණ ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ බහුතරයක් ශ්‍රී-ලාංකිකයින් හොර රහසේ රුචිකත්වයක් දක්වන ලිංගිකත්වය සහ කුනු රසය උළුප්පා දක්වමිනි. මින් බහුතරයක් පුවත් සඳහා පැහැදිළි මූලාශ්‍ර නොතිබුනා මෙන්ම ඒවා පාදක වී තිබුනේ ඔවුන්ගේ මනෝමූලික උපකල්පනයන් මත පමණි.

විශේෂයෙන්ම ශ්‍රී-ලාංකාව තුළ පවත්නා ආගමික සහ සංස්කෘතික වටපිටාව තුළ මාධ්‍ය විසින් කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් වාර්ථාකරනයේ දී විශේෂ සැළකිල්ලක් යොමුකළ යුතුව ඇති බව අවිවාදිත කරුණකි. මෙවැනි සිදුවීම් හේතුවෙන් සමාජයෙන් එල්ලවන අපවාද, චෝදනා සහ මානසික පීඩිනය හේතුවෙන් අවසානයේ දී සිය ජීවිතය පවා අහිමිකරගන්නා තැනට පත්වූ සිදුවීම් විරල නොවේ. මාධ්‍යකරණය තුළ කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී විශේෂ ආචාරධර්ම පද්දතියක් අනුගමනය කිරීම සිදුවන්නේ මේ හේතුවෙනි. මාධ්‍ය යනු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා භාවිතා කළහැකි ප්‍රභල අවියක් වනවා සේම එය භාවිතා කිරීමේ දී නිසි විනයක් ඇතිව වගකීම් සහගතව භාවිතා කිරීම තුළින් මාධ්‍යකරණයට මෙන්ම සමාජයට එයින් සිදුවියහැකි හානිය අවම කරගැනීමට මාධ්‍යවේදියා සතු වගකීමක් ද වේ.

මේ සිදුවීමේ ඇති අනෙක් අවාසනාවන්ත කරුණ වන්නේ සමාජ ජාල පිටු සහ ගොසිප් වෙබ් අඩවි තුළ මෙම ව්‍යාපෘතිය දියත්වන්නේ යහපාලනය, මාධ්‍ය සදාචාරය, යුක්තිය වෙනුවෙන් පෙනීසිටිනවා යයි කියාගන්නා වර්ථමාන රජයේ ප්‍රචාරණ ව්‍යාපාරයන් මෙහෙයවන පාර්ශවය තුළින් වීමයි. විමල් වීරවංගේ දේශපාලනය හෝ පෞද්ගලික හැසිරීම සම්බන්ධයෙන් ගැටළු ඇති බව සත්‍යවන නමුත් එවා පිරිමසාගැනීම සඳහා ඔහුගේ දරුවන් භාවිතා කිරීම කිසිසේත්ම අනුමත කළ හැකි කරුණක් නොවේ. විශේෂයෙන්ම යහපාලන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනීසිටිනවා, ඒ වෙනුවෙන් කටයුතු කරනවා යයි යයි පවසනා කණ්ඩායමක් ඒ ආකාරයෙන් කටයුතු කිරීම ඔවුන් පෙනී සිටිනවා යයි පවසන අරමුණ සහ ප්‍රතිපත්ති අමු අමුවේම දූෂණය කිරීමකි.

එමෙන්ම මෙම සිදුවීම දී මීට පෙර මෙවැනි අවස්ථාවන්හි ඊට විරුද්ධව ඉදිරිපත්වූ සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන ඇය වෙනුවෙන් ඉදිරිපත් නොවී කර ඇරීමත් මෙම සිදුවීමේ දී දක්නට ලැබුනු අවාසනාවන්ත තත්වයකි. තමාගේ විරුද්ධවාදියෙක් වීම නිසා මුනිවත රකින සියළු දෙනා අවබෝධකරගත යුතු කරුණ වන්නේ මෙම ව්‍යාපාරය දියත් කළ පුද්ගලයන් ඔවුන් වෙතද මේ හැන්දෙන්ම බෙදීමට කිසිඳු අවස්ථාවක පසුබට නොවන බවයි.

Tuesday, February 9, 2016

ප්‍රධාන මාධ්‍යට අමතක වූ දකුණු ආසියානු කීඩා උළෙල

එදා සුසන්තිකාලා, දමයන්ති දර්ෂලා, සුගත් තිලකරත්නලා දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල ජයකෙහෙළි නංවද් දී ශ්‍රී-ලාංකිකයන් වශයෙන් අප සියළු දෙනා ශ්‍රී-ලාංකිකයින් වශයෙන් ආඩම්බරයට පත්වූයෙමු.
ශ්‍රී-ලංකාවේ සියළුම මාධය ආයතන එ් ජයග්‍රහනය පිළිඹඳ වාර්තා කිරීමට කටයුතු කළේ විශාල උනන්දුවක් දක්වමිනි. රාජ්‍ය නාලිකා මෙම තරඟ සජීවීව ජනතාව වෙත ගෙ නඒමට දායක වූ අතර සියළුම පුවත්පත් සිය මුල් පිටුව තුලින් මේ සම්බන්ධයෙන් වාර්ථා කිරීමට කටයුතු කොට තිබුණි.

මේ වනවිට ඉන්දියාවේ ගුවාති සහ ෂිලොන්ග් හි පැවැත්වෙන 12වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුලත් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජය කෙහෙළි නංවමින් සිටිති.

මේ වනවිට රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 27 ක් සහ ලෝකඩ පදක්කම් 23ක් සමඟ සමස්ථ පදක්කම් 61 ක් ලබාගෙන දෙවන ස්ථානයට පත්වන්නට සමස්ථ පදක්කම් සටහනේ ශ්‍රී-ලංකාව සමත්ව ඇති අතර සාමාන්‍යයෙන් ශ්‍රී-ලංකාව දක්ෂතා දක්වන පිටියේ මළල ක්‍රීඩා ඉසව් වලින් පිටතට විත්, පිහිනුම්, පාපැදි, බර ඉසිලීම ආදී ක්‍රීඩා වලින් දස්කම් දක්වාති තිබීම මෙවර සාර්ක් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ඇති විශේෂත්වයයි.
නමුත් මෙවර ප්‍රධාන මාධ්‍ය ආයතන සාර්ක් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් දක්වන අවධානය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි නොවේ. මාධ්‍ය ආයතනයක වගකීම තමාගේ ප්‍රේක්ෂකයන්ට වැදගත්වන, යම් වටිනා කමකින් යුතු කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ව දැනුවත් කිරීමයි. නමුත් කිසිඳු රජයේ හෝ පෞද්ගලික මාධ්‍ය ආයතනයක් සාර්ක් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී-ලංකාව දක්වා ඇති දක්ෂතා සම්බන්ධයෙන් වාර්ථා කිරීමේ වගකීම තමාවෙත ගෙන ඒ වගකීම ඉටුකරන බවක් පෙනෙන්නට නැත.

යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම, විපක්ෂයේ මන්ත්‍රීවරුන් සීනිගම දේවාලයේ පොල් ගැසීම, ඔවුන් හොරෙන් පොල් කැඩුවාද යන්න, එම අවස්ථාවේ දේශපාලකයෙකුගේ මුදල් පසුම්බිය සොරකම් කිරීම, නිදහස් උත්සවයේ ජාතික ගීය දමිල බසින් ගායනා කිරීම, නිදහස් උත්සවයේ ක්‍රිෂානි විජේසිංහ විසින් සිදුකළ ඔපෙරා ශෛලියේ ගායනය, ආදී කිසිඳු වැදගත් කමක් නොමැති, හුදු කුණු රසය පමණක් දැකිය හැකි සංසිද්ධීන් ගණණාවක් සම්බන්ධයෙන් කතිකාවතක් ඇති කිරීමට මෙම මාධ්‍ය ආයතන සියල්ල කටයුතු කරන ආකාරය දක්නට ලැබේ.

සීනිගම දේවාලයට ගොස් පොල් ගසන දේශපාලඥයන් ගැන මහත් උද්යෝගයෙන් වාර්ථා කරන මාධ්‍ය ආයතන ශ්‍රී-ලාංකික ක්‍රීඩකයින් සමඟ ඉන්දියාවට ගොස් ඔවුන් සමඟම නැවතී හිඳිමින් ඔවුන්ව ධෛර්යමත් කිරීමට කටයුතු කරන ක්‍රීඩා අමාත්‍යවරයා සම්බන්ධයෙන් වාර්තා කිරීමට උනන්දුවක් දක්වන්නේ නැත.

සමහර විට සීනිගම දේවාලයට ගොස් පොල් ගැසීම සාර්ක් උළෙල තුල ශ්‍රී-ලංකාව ජයකෙහෙළි නංවනවාට වඩා වැදගත් කරුණක් බවට මෙම මාධය ආයතන වල ප්‍රධානීන්ට පෙනී යනවා වන්නට පුළුවන. එමෙන්ම නිදහස් උත්සවයේ දී ක්‍රිෂානි ජයසිංහගේ ඔපෙරා ගායනය දයාසිරි සාර්ක් ක්‍රීඩා උළෙලට සහභාගීවන ක්‍රීඩකයින් හා සමඟ එකතුව ඔවුන්ව ධෛර්යමත් කරනවාට වඩා වැදගත් යයි සලකනවා වන්නට පුළුවන.
ශ්‍රී-ලංකාව තුල පවතින මාධ්‍ය ආයතන වලට පොදුවේ (රජයේ සහ රජයේ නොවන) ජාතික වැදගත්කමකින් යුත් ප්‍රවෘත්ති මොනවාද, වාර්ථාමය වටිනාකමක් සහිත ප්‍රවෘත්ති මොනවාද, මාධ්‍ය ආයතනයක් වශයෙන් ඔවුන්ගේ රාජකාරි සහ වගකීම් මොනවාද යන්න පිළිබඳව අවබෝධයක් ලබාදියයුතු තත්වයක් උද්ගතව ඇත.

Friday, February 5, 2016

“අතීසාරයට අමුඩය ගැසීමෙන් සිදුවන්නේ අමුඩ ලේන්සුව ජරාවීම පමණකි.”


ජාතික ගීයේ දමිළ අනුවාදනය මේවනවිට බුකියේ ප්‍රධානතම මාතෘකාව බවට පත් වී හමාරයි.
ශ්‍රී-ලංකාව මත ඉපිද ශ්‍රී-ලාංකික පොළවෙන්, සුළඟෙන්, ජලයෙන් පෝෂනය වූ අපි එකිනෙකා හා සන්නිවේදනය සඳහා භාවිතා කරන මිනිසා නිර්මාණය කරගත් භාෂාවක් පමණක් පදනම් කර ගනිමින් දශක 3ක් පුරාවට එකිනෙකා මරා ගත්තෙමු. 

ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් ඇතිව ඇති ගැටළුව දෙස බැලීමේ දී තේරුම් ගතහැකි ප්‍රධාන කරුණ නම් දශක 3ක් පුරාවට පැවැති සිවිල් යුද්ධය අවසන්කොට වසර 6ක් අවසන්ව ඇති නමුත් තවමත් ශ්‍රී-ලාංකික ජනතාව තුල එකිනෙකා කෙරෙහි අනයෝන්‍ය විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට අපොහොසත්ව ඇති බවයි.

දමිළ භාෂාව කතාකරන ජනතාවටත් ජාතික ගීය ගායනා කරන විට තමාගේය යන හැඟීම ඇතිවිය යුතු බව සත්‍යකි. ජාතික ගීයේ දමිළ අනුවාදනය භාවිතා කිරීම තුලින් දමිළ භාෂාව කතාකරන ජනතාව තාවකාලිකව ආමන්දානයට පත්කළ හැකි නමුත් එය මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් නොවේ. 

පලමු කොටම ජාතික ගීය දමිළ බසින් ගායනා කළ යුතු බවට දමිළ ජනතාව තුල මතයක් ගොඩ නැඟෙන්නේත් එසේ ගායනා කරනවාට සිංහල ජනතාව විරුද්ධ වන්නේත් එකම කාරණාවක් පදදනම්කොට ගනිමිණි. එනම් අප දෙකොට්ඨාශය අතර අනයෝන්‍ය විශාවාසයක් නොපැවතීමයි. අප පවතී නම් දමිළ ජනතාවට සිංහල බසින් ජාතික ගීය ගායනා කිරීමටත්, සිංහල ජනතාවට ජාතික ගීයේ දමිළ අනුවාදනයට විරුද්ධ වීමටත් කිසිඳු අවශ්‍යතාවයක් ඇති නොවේ.

සිංහල ජනතාවත් දමිළ ජනතාවත් අතර විශ්වාසය ගොඩ නැංවීම සඳහා ඔවුන් අතර ඇති ගැටළු, විරසක, සබඳතා ආදී සියළුම කරුණු පිළිබඳව සංවාද මණ්ඩපයක් ඇතිකළ යුතුව ඇත. ඒ තුලින් එකිනෙකාගේ සංස්කෘතීන් පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීමටත්, ඒවා අතර ඇති විවිධත්වය, වෙනස්කම් වටහා ගැනීමටත්, ඒවාට ගරුකිරීමටත් උගත යුතුව ඇත. 

අප අතර විශ්වාසය ගොඩ නැඟීමකින් තොරව ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම වැනි සිල්ලර ක්‍රියාකාරකම් තුලින් මෙම ගැටළුවට විසඳුම් ලබාදිය නොහැකි බව පාලකයනුත්, ජනතාවත්, සමාජ ක්‍රියාකාරීනුත් අවබෝධකරගත යුතුය.

මේ ජාතික ගීයේ දමිල අනුවාදනය ගායනා කිරීම වැරදියි කියනවා නොවේ. නමුත් නැවත වතාවක් අප රට ජාතිවාදී ගිනිදැල්වලින් වෙළීයාම නැවැත්වීමට නම් ජාතීන් අතර අනයෝන්‍ය විශ්වාසය වර්ධණය කිරීම සඳහා වැඩ පිළිවෙළක් හැකි ඉක්මනින් ආරම්භ කළයුතුව ඇත.

“අතීසාරයට අමුඩය ගැසීමෙන් සිදුවන්නේ අමුඩ ලේන්සුව ජරාවීම පමණකි.”

Saturday, November 21, 2015

නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීම ඇත්තටම වැරදි ද?


ශ්‍රී-ලංකාවේ පාසල් නිල ඇඳුම් පිළිබඳ ඉතිහාසය දශක ගණනාවක් ඈතට විහිදෙන එකක්. යම් යම් මත බේද තිබෙන නමුත් පාසල් දරුවන් අතර සමානාත්මතාවය වර්ධනය කිරීම මෙහි අරමුණ බව බොහොමයක් අධ්‍යාපනඥයින් පවසන කරුනක්.

කොහොම වුනත් ලංකාව වගේ රටක සමහර දුෂකර ප්‍රදේශවල අඩු ආදායම් සහිත දරුවන්ට නිල ඇඳුම් සපයාගැනීම එතරම් පහසු කරුණක් නොවෙයි. හිටපු ජනාධිපතිවරයෙක් වන ජේ.ආර්. ජයවර්ධණ පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් ලබාදීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ මේ ගැටළුවට පිළයමක් වශයෙන්. ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා නිල ඇඳුම් බෙදා දීමේ දී ඔහු විසින් සිදුකළේ නිල ඇඳුම් සඳහා අවශය ප්‍රමාණයට රෙදි පාසල් දරුවන් වෙත ලබාදීම. එම කාලයේ වර්ථමානයේ වගේ රෙදි මිලදීගන්න පුළුන් ස්ථාන හැමතැනම තිබුනේ නැහැ ඒ වගේම රජයට අයත් රෙදි කර්මාන්ත ශාලා හරහා ශ්‍රී-ලංකාව තුලම මෙම රෙදි නිශ්පාදනය කිරීමේ හැකියාවක් පැවතුනා. එමනිසා ඒ වෙනකොට පැවති වාතාවරණයට අනුව මෙසේ රජය විසින් රෙදි ලබා දීමට කටයුතු කිරීම පිළිබඳ ගැටළුවක් පැවතුනේ නැහැ.

නමුත් වර්ථමානය වනවිට තත්වය සැළකියයුතු ලෙස වෙනස්වෙලා තියෙනවා. මේවනවිට ශ්‍රී-ලංකා රජයට අයත් කර්මාන්තශාලා හරහා රෙදි නිශ්පාදනයක් සිදුවන්නේ නැහැ. දැනට බෙදන රෙදි ලබාදෙන්නේ ටෙන්ඩර් කැඳවීම මඟින් තොරාගන්නා පෞද්ගලික සැපයුම්කරුවෙකු හරහා. ඒ වගේම රෙදි පිළි ම්ලදීගැනීම ඒ වකවානුවේ තරම් අපහසු නැහැ. ඕනෑම නගරයක ඇති රෙදි පිළි සාපුපුවක් හරහා රෙදි මිළදීගැනීමේ හැකියාවක් මේ වනවිට පවතිනවා.

ඒ වගේම ලංකාව තුල පවතින රෙගුලාසි යටතේ මෙසේ රෙදි ලබා දීමේදී මේ දක්වා සියළුම අවස්ථාවන්හිදී නොයෙකුත් ආකාරයේ අක්‍රමිකතා ඇතිවූ බව නොරහසක්. අක්‍රමිකතා සිදුවීමට නොහැකිවන ආකාරයට පවතින හිඩැසි වැසීමට කටයුතු කළයුතුයයි යමෙකු තර්කකරනු ඇති. නමුත් ශ්‍රී-ලංකාවේ මෙතෙක් පැවති ශ්‍රී-ලංකාව තුල මුල්බැසගෙන ඇති ක්‍රියාකලාපයන් එක්ක මේ කියන අක්‍රමිකතා මඟහරවාගැනීමට කටයුතු කිරීම එතරම් ප්‍රායෝගික නැහැ. 

එම හේතුව නිසා තවදුරටත් පාසල් නිල ඇඳුම් ලබාදීමේ දී රෙදි වශයෙන් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් වෙන්නේ නැහැ. එමෙන්ම මෙතෙක් පැවති ක්‍රියාවලිය තුල බොහොමයක් දෙනෙක් නොදකින ලද පැතිකඩක්ද තියෙනවා. පවතින විවෘත ආර්ථික ක්‍රමය යටතේ හා පවතින වානිජ රෙගුලාසි යටතේ තනි සමාගමක් සඳහා මෙවැනි අති විශාල ටෙන්ඩරයක් ලබාදීම තුල එම සමාගමට රෙදි ආනයන ක්ෂේස්ත්‍රය තුල ඒකාධිකාරයක් ස්ථාපනය කරගැනීමට පහසුවෙන් හැකියාව ලැබීම. 

ලෝකයේ බොහෝ රටවල එක් සමාගමකට එක් ක්ෂේස්ත්‍රයක් තුල ඒකාධිකාරයක් ගොඩනඟාගැනීම අපහසු කිරීම සඳහා නීති රීත් සම්පාදනය කරලා තියෙන නමුත් මෙතෙක් ශ්‍රී-ලංකාව තුල ඒ ආකාරයට නීති රීති සම්පාදනය කරලා නැහැ. ඒ නිසා ලංකාව තුල මෙවැනි ටෙන්ඩරයක් ලබාගන්නා සමාගමකට තම ක්ෂේස්ත්‍රය ඇතුලේ අනෙක් සමාගම් වලට විශාල බලපෑමක් කිරීමේ හැකියාවල් තිබෙනවා. ඒ අනුව මේ ආකාරයට ඒකාධිකාරයක් ගොඩනඟාගානීම තුල ඔවුන්ට වෙළඳපොල තමාට රිසි ආකාරයට පාලනය කිරීමටත් අනෙකුත් තරඟකරුවන්ට වෙළඳපොලට ඇතුළු වීම අවහිරකිරීමටත් පහුසුවෙන් පුළුවන්කම ලැබෙනවා. ඇයි ඒකට විරුද්ධව නීති හදන්න බැරිද කියන තර්කය ගොඩක් දෙනෙකුට නඟන්න පුළුවන් හැබැයි ලංකාවේ පවතින දේශපාලන සංස්කෘතිය යටතේ එහෙම නීති සම්පාදනය කරන්න උත්සාහකරන එක කොච්චර සාර්ථක වෙයි ද කියන එක සම්බන්ධයෙන් ගැටළු තියෙනවා.

සමහර දේශපාලඥයන් පවා එල්ල කරන චෝදනාවක් වන්නේ සමහර බේබදු දෙමාපියන් මෙසේ ලැබෙන වවුචර් මුදල්කොට ඒ මුදල් තමාගේ පෞද්ගලික කටයුතු සඳහා භාවිතාකරනු ඇති බව. දැනට ලැබෙන පාසල් රෙදි මිලදීගැනීම සඳහා වෙනම වෙළඳපොලක් නිර්මාණය වී ඇති බව මෙසේ පොළවේ පය නොගසා ජීවත්වන දේශපාලඥයින් නොදන්නා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

යමක් සිදුකරන ක්‍රමය සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් උද්ගතව ඇති විට අප සියළු දෙනා බොහෝවිට පුරුදුව ඉන්නේ එ් සඳහා පැලැස්තර විසඳුමක් යොදලා එම ගැටළුව මඟහරවා ගැනීමට උත්සාහ කිරීමට. නමුත් එම ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත්කරලා අවශ්‍යතාවයට ගැලපෙන නව ක්‍රමයක් ස්ථාපිතකරවීම කාලයෙන් කාලයට සිදුකළ යුතු අවශ්‍යතාවයක් බව අවබෝධකරගැනීම ඉදිරියට යාමට බලාපොරොතුත්වන රටක් අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්.